Friday, August 26, 2016

කොලොම්පුරේ කතන්දරේ...


කොළඹ ගැන විස්තර ටිකක්



කොළොම්තොට , කොලොන්තොට ලෙස අතීතයේදී හැඳින්වුණු කොළඹ  ප්‍රදේශයට මේ නම ලැබීමට නගරයේ තිබුණු අඹ ගස් හේතු වූවා යයි මතයක් පවතී. පෘතුගීසින් විසින් මේ නම මුලිම් භාවිතා කල බවටද මතයක් පවතී. කැළණි ගඟේ තොටුපොල යන අරුත් දක්වන කොළොම්තොට යන වදනින් කොළඹ යන්න බිඳී ආ බව විශ්වාස කෙරේ. ලන්දේසි යුගයේ කොළඹ නිල ලාංජනය ලෙස යොදාගෙන ඇත්තේ ඵල රහිත අඹ ගසකි. එම ලාංජනය තුලින්ද මේ කියමන සනාත වේ. 
 
1505 දී පෘතුගීසීන්ගේ පැමිණීමත් සමග මෙය ඔවුන්ගේ වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත්වූ බව සැලකේ. පසුව ඔවුන් මේ ස්ථානය ආරක්ෂක මධ්‍යස්ථානයක් හා වරායක් ලෙස සංවර්ධනය කරන ලදී. එසේ සිදුකරන ලද්දේ දිවයින තුලට තම බලය විහිදීමට අවශ්‍ය පාලනය කොටුව ප්‍රදේශයට එක් කර ගැනීමේ අරමුණෙනි. 1656 දී ලන්දේසින් විසින් කොටුව අත්පත් කරගත් අතර තමන්ගේ වටිනා වෙළඳ ද්‍රව්‍ය ආරක්ෂා කරගැනීමට යොදාගන්නා ලදී. කොළඹ ලන්දේසි පරිපාලනයේ ප්‍රමුඛස්ථානයට පත් වීමත් සමග මුහුදින් හා රට අභ්‍යන්තරයෙන් ඇතිවිය හැකි තර්ජන වලට මුහුණ දීය හැකි ආකාරයෙන් නගරය පුළුල් හා ශක්තිමත් කරවීමට ලන්දේසීහු උත්සුක විය. පෘතුගීසීන්ගේ ආරක්ෂක බලකොටු හා ඉදිකිරීම් සමහරක් බිඳ හෙලීමට කටයුතු කල ලන්දේසින් අනතුරුව වැවත් මුහුදත් අතර පිහිටි බිමෙහි ස්වභාවික වාසිය හොඳින් ලබා ගත හැකි වන පරිදි එය යලි ගොඩනංවන ලදී. ආක්‍රමණකාරී ලන්දේසීන්ට විරුද්ධව රට අභ්‍යන්තරයෙන් පැන නැගුනු සිංහල රජවරුන්ගේ සටන් හමුවේ එය කිහිපවිටක්ම වැටලීමට ලක්වූ අතර ලන්දේසින් හට කොටුව ඉතා වැදගත් බලකොටුවක් විය.බ්‍රිතාන්‍යන් විසින් ලන්දේසීන්ට අයත්ව තිබු මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කර ගැනීමත් සමග කොටුව ඔවුන්ගේ පරිපාලන මධ්‍යස්ථානය බවට පත්විය. 1815 කන්ද උඩරට ගිවිසුමත් සමග කොළඹ මුළු දිවයිනේම අගනුවර ලෙසට නම් කරන ලදී. තවදුරටත් ඍජු හමුදාමය තර්ජනයක් නොපැවතී නිසාත් නගරයේ සංවර්ධනයට බාධාවක් යැයි සැලකු නිසාත් 1870 දී කොටුවේ බිත්ති කඩා බීම හෙලන ලදී. ලන්දේසි ගොඩනැගිලි ද මෙලෙසම විනාශකර දැමු අතර නව ගොඩනැගිලි ඉදි කරවුයේ ප්‍රදේශයට බ්‍රිතාන්‍ය ආභාෂය එක්වන අයුරෙනි.
 
 
 

 
 ( ගාෆර් ගොඩනැගිල්ල පසුබිම් කරගත් මහා විදිය)
 
 
 
 
 මෙලෙස බලකොටුවේ ප්‍රාකාර බිත්ති පවා බිඳ දැමුවත් තවමත් මෙම ප්‍රදේශය කොටුව නමින් හැඳින්වේ. මේ ප්‍රදේශයේ ගොඩනැගිලි බොහොමයක් බ්‍රිතාන්‍ය පරිපාලන ගොඩනැගිලි වශයෙන් පැවතුණි. 1948 දී බ්‍රිතාන්‍යන් ගෙන් නිදහස ලබා ගැනීමත් සමග රාජ්‍ය ආයතන හා පරිපාලන මධ්‍යස්ථාන කොටුව ප්‍රදේශයට කේන්ද්‍ර වීම දක්නට ලැබුණි. පසුකාලීනව රාජ්‍ය පරිපාලනය පුළුල් වීම හේතුවෙන් කොළඹ නගරය තුල තදබදයක් නිර්මාණය වීම නිසා 1980 දී රාජ්‍ය අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයට විතැන් කිරීමට පටන් ගැනිණි.  
 
 
 
 
 
 (කාගිල්ස් හා මිලර්ස් ගොඩනැගිල්ල)
 
කොළඹ නගරය තුල තවමත් මෙරට යටත් කරගෙන සිටි ජාතින් විසින් නිර්මාණය කල ගොඩනැගිලි කිහිපයක් දැකගත හැකිය. ඉන් එකක් ලෙස ලන්දේසි රෝහල දැක්විය හැකිය. 1686 ලන්දේසින් විසින් ඔවුන්ගේ නිලධාරීන්ට හා සේවකයන්ට ප්‍රතිකාර ලබාදීමේ අරමුණින් මේ රෝහල ඉදිකර තිබේ. රොබට් නොක්ස් ගේ වාර්තාවන්ට අනුව ලංදේසි නිලධාරීන්ට අමතරව මේ රෝහලින් 1739 දී රට පාලනය කල නරේන්ද්‍රසිංහ රජතුමාද ප්‍රතිකාර ලබාගත් බවට දක්වා තිබේ. 1980 දී මේ ගොඩනැගිල්ල පොලිසියට පැවරී තිබුණු අතර 1996 මහා බැංකු බෝම්බයෙන් රෝහලට බරපතල හානි සිදුවිය.
 
පැරණි ප්‍රදීපාගාරය හා ඔරලෝසු කනුව ලංකාවේ දැකගත හැකි ඔරලෝසුවක් සවිකරන ලද එකම ප්‍රදීපාගාරය වේ. වර්තමානයේ ප්‍රදීපාගාරය අක්‍රියව පවතින අතර ඔරලෝසු කණුවක් ලෙස භාවිතයේ පවතී. මෙම ප්‍රදීපාගාරය ලංකාවේ ඉදිකරන ලද මුල්ම ප්‍රදීපාගාරය ලෙසද සැලකේ. එසේම කොළඹ සිට පිට පලාත්වල ප්‍රධාන මාර්ගවල දුර මනිනු ලබන්නේද මෙහි සිට බව සඳහන් වේ. 1860 දී ඔරලෝසු කණුවක් ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා මෙම කුලුන ඉදිකළත් 1865 ඊට ප්‍රදීපාගාර ලාම්පුවක් සවි කල බව පැවසේ. 1913 දී මෙහි වූ මුල් ඔරලෝසුව ප්‍රතිස්ථාපනය කරන ලදී. පසු කාලයේදී අවට ඉදිවූ උස ගොඩනැගිලි හේතුවෙන් ප්‍රදීපාගාරයේ ආලෝකයට බාධා ඇතිවිය. මේ නිසා 1952 දී කණුවෙහි වූ ප්‍රදීපාගාර ලාම්පුව භාවිතය නවත්වන ලදී.
 
ජනාධිපති මන්දිරය ද පැරණි ගොඩනැගිලි වලට අයත් වන්නෙකි. මෙය ලංදේසි ආණ්ඩුකාරවරයාගේ නිල නිවස යි. බ්‍රිතාන්‍ය යුගයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ නිල නිවස වූ අතර 1972 දක්වා මෙය හැඳින්වුයේ රැජිනගේ නිවස ලෙසයි.
 



(පැරණි පාර්ලිමේන්තුව)

පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය යුගයේ ඉදිවූවකි. මෙය නියෝබැරොක් ශෛලියට අනුව නිර්මාණය කර තිබේ. තවත් විශේෂ ස්ථාන කිහිපයක් ලෙස සම්බෝධි විහාරය , ලෝක වෙළඳ මද්‍යස්ථානය , පැරණි මහා තැපැල් කාර්යාලය , කාර්ගිල්ස් ගොඩනැගිල්ල , ටෙලිකොම් සමාගම , මහා බැංකුව යන ඒවා දැක්විය හැකිය.
 
සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ස්ථාන රාශියක් කොළඹ දක්නට ලැබේ. ගාලු මුවදොර පිටිය ; නගරයට පැමිණෙන සංචාරකයින් හා නගරවැසියන්ගේ ආකර්ශනීය ස්ථානයක් වේ. ගාලු මුවදොර හෝටලය , ගංගාරාම විහාරය , ජාතික කෞතුකාගාරය ; මෙය ලංකාවේ විශාලම කෞතුකාගාරය වේ. විහාරමහාදේවි උද්‍යානය , නිදහස් චතුරශ්‍රය , පාවෙන වෙළඳ සංකීර්ණය දැක්විය හැකිය.
 
කොළඹ බහු වාර්ගික හා බහු සංස්කෘතික නගරයක් වේ. සිංහල ප්‍රධාන ජනකොටස වන අතර මුස්ලිම් හා දමිල ජාතීන්ද ජිවත් වේ. මිට අමතරව කුඩා කණ්ඩායම් ලෙස චීන , පෘතුගීසි , ඕලන්ද , මැලේ සහ ඉන්දියානු ප්‍රභවයක් සහිත පිරිස්ද වාසය කරයි. මෙහි ජනගහනය 642,163 පමණ වේ. 1866 වන විට කොළඹ නගරයේ  ජනගහනය 80,000 පමණ විය.  
 
 
අන්තර්ජාලය ඇසුරෙන්
 
 

Wednesday, August 24, 2016

ශ්‍රී පාදස්ථානය


ශ්‍රීපාදය





"මහනුවර නගරයට දකුණු දෙසින් සිංහලයන් කියන පරිදි ලංකාවේ උසම කන්ද පිහිටා ඇත. ඔවුන් එයට කියන්නේ හිමපොල යනුවෙනි. පෘතුගීසින් හා වෙනත් යුරෝපීන් එය ඇඩම්ස් පීක් ලෙස හඳුන්වයි. මෙම කන්ද මුදුනේ සමතලා ගල් තලාවකි. එහි මිනිසෙකුගේ පා සටහනක් වැනි ලාංජනයක් ඇත. නමුත් එය මිනිසෙකුගේ පා සටහනකට වඩා විශාල දිග අඩි දෙකක් පමණ සලකුණකි. සිංහලයන් විශ්වාස කරන්නේ බුදුන් වහන්සේ මෙහි වැඩි පළමු ගමනේදී ඒ උඩ පාදය තබා ඇති බවය. එහි අඩි 5 අගල් 3 3/4 දිග හා අඩි 2 අගල් 5 සිට 7 දක්වා වූ කුහරයකි. එය තඹ පත් වලින් වටකර අඩු වටිනාකමකින් යුත් මැණික් ගල් ඔබ්බවා ඇත. ගල්කණු හතරක සිටුවන ලද දම්වැලකින් බැඳ පාට රෙදි වලින් වහලයක් යොදා ඇත. "

ඉහත දක්වා ඇත්තේ ශ්‍රී පාදය පිළිබඳව රොබට් නොක්ස් විසින් ඉදිරිපත් කර ඇති විස්තරයෙන් කොටසකි. බෞද්ධ ආගමිකයන් අතර ගෞරව පුර්වක වන්දනාවට පාත්‍ර වූ ස්ථානයක් ලෙස සමන්ගිර හඳුන්වාදිය හැකිය. සමන්ත කුඨ , සමනල කන්ද , රත්නගිරි , ස්වර්ගරෝහනම් , සුමනගල යන නම්වලින් ශ්‍රී පාදස්ථානය හඳුන්වයි. පෘතුගීසි ජාතිකයන් 'පිකෝ ද ඇඩම්' ලෙසත් කතෝලික ආගමිකයන් 'ඇඩම්ස් පීක්'  ලෙසත් හින්දු ආගමිකයන් 'ශිවනඩිපාදනම්' ලෙසත් ඉස්ලාම් ආගමිකයන් 'බබා අදමලින්' ලෙසත් හඳුන්වා තිබේ. සමනල කන්ද ලෙස මෙයට නම ලැබී ඇත්තේ ශ්‍රීපාද වන්දනා සමය තුල සමනලුන් විශාල වශයෙන් මෙම රක්ෂිතය අවට දැකගත හැකිවීම නිසා බව කියවේ. සමන් දෙවියන්ගේ අඩවිය වන බැවින් සමන්ත කුඨ , සමන්ගිර යන නම්වලින් හඳුන්වයි. 

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කඳුකර ප්‍රදේශයේ සමනල කන්ද පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට උස අඩි 7360 කි. මෙහි මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර 22338කි. සමනල කඳු මුදුනට මාර්ග 6 කින් පමණ ලඟා විය හැකි  අතර නල්ලතන්නි හා පලාබද්දල මාර්ග ප්‍රසිද්ධ වේ. මිට අමතරව කුරුවිට-එරත්න , මුර්යාවත්ත , මුක්කුවත්ත හා මාලිම්බොඩ යන මාර්ග ද භාවිතා කල හැකිය.  ශ්‍රී පාදස්ථානය වන්දනාව සඳහා ජන වර්ග රාශියක් පැමිණීම දක්නට ලැබෙන විශේෂත්වයකි. බෞද්ධ ජනයා මෙම පුජනිය කන්දෙහි බුදුන් වහන්සේගේ සිරිපතුල සලකුණු කොට ඇති බව විශ්වාස කරයි. දමිල වැසියන් විශ්වාස කරන්නේ ශිව දෙවියන්ගේ පා සටහන සලකුණු කර ඇති බවයි. අනෙකුත් ජනයා විශ්වාස කරන්නේ ආදම් ලෝකයට පැමිණෙන විට ඔහුගේ පා සටහන කඳු මුදුනේ සලකුණු කොට ඇති බවයි.  මේ නිසා ප්‍රධාන ජාතින් හතරම එකට වන්දනා කරන එකම කන්ද ලෙස ශ්‍රී පාදස්ථානය හැඳින්විය හැකිය.

ශ්‍රීපාදය පිළිබඳව ඉතිහාස කතාව මෙසේය. දේව ගෝත්‍රික ජනතාවගේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය පාලකයා සුමන නම් විය. මේ පුද්ගලයා බුදුන් වහන්සේගෙන් බණ අසා සෝවාන් ඵලයට පත්වූ බව මහාවංශයේ සඳහන් වේ. සුමන මිය ගොස් දිව්‍යරාජයෙකු ලෙස උපන් අතර  බුදුන් වහන්සේ කැලණියට වැඩම කල අවස්ථාවේ වන්දනා මාන කිරීම සඳහා කේශධාතු මිටක් ඉල්ලා සිටි අතර එය තැම්පත් කොට සිළුමිණි සෑය තව්තිසා දෙව්ලොව ඉදිකර ඇත. සමන්ත කුඨයෙහි පාද ලාංජනය පිහිටුවන ලෙස  ද ඉල්ලා සිටියේය. ඒ ඉල්ලීමට අනුව බුදුන් වහන්සේ තම වම සිරිපතුල පිහිටුවාලූ බව වංශකතාවල හා ජනප්‍රවාදයේ දැක්වේ. 


උඳුවප් පොහොයෙන් ඇරඹෙන ශ්‍රීපාද වන්දනා සමය අවසන් වන්නේ වෙසක් පොහෝ දිනයි. අනෙක් මාස වල දී අධික වැසි , තද සුළං හා ඝන මිදුම් පවතින බැවින් නැගීම අපහසුය. නමුත් අවාරයේද ශ්‍රීපාදය වන්දනා කරන පිරිස් දැකගත හැකිය. ශ්‍රීපාද වන්දනාව පිළිබඳව බොහෝ වත් පිළිවෙත් පවතී. එමෙන්ම එහා සම්බන්ධ වචන භාවිතාවක් ද දක්නට ලැබේ. පළමු වරට ශ්‍රී පාදය නගින වන්දනා කරු 'කෝඩුකාරයා ' ලෙස හඳුන්වයි. ඔහු සීතගඟුල යන දොළ පහරෙන් නා ගත යුතුය. ඉඳිකටු පාන නමින් හඳුන්වන ස්ථානයේදී ඉඳිකටු හා නුල් සවිකරති. මේ හා බැඳී ඉතිහාස කතාව වන්නේ බුදුන්වහන්සේ සමන්ත කුඨයට වැඩම කරන විට ඉරුණු සිවුර ගෙත්තම්පානේදී මසා පිළිසකර කරගෙන තිබේ. එම නිසා මේ ස්ථානයට එම ගෙත්තම්පාන ලෙස ව්‍යවහාර වේ.  නඩේ , නඩේ ගුරා , කෝඩු , කිරිකෝඩු , සැහැල්ලුව , හිමේ , කරුණාවයි , පේවීම, කට වරද්දා ගැනීම, කෝඩේ , අම්බලම , පද්මය වැනි වචන භාවිතා කරයි. එමෙන්ම ඉඳිකටු පාන , ගෙත්තම්පාන , සීතගඟුල , මහගිරි දඹ , අහස්ගව්ව , ආදී ස්ථාන නාම ද භාවිතා කරනු ලබයි. ශ්‍රීපාදය වන්දනා කරන විට කවි කීම දක්නට ලැබේ. එහිදී වන්දනා කර ආපසු පැමිණෙන පිරිසට කවියෙන් ආශිර්වාද කරන අතර එම පිරිස වන්දනා කිරීම සඳහා යන පිරිසට පෙරලා  කවියෙන් ආශිර්වාද කරයි. එමෙන්ම කඳු මුදුනට නැගී පසුව තමන් ශ්‍රී පාදය වන්දනා කල වාර ගනනට අනුව ඝණ්ටාරය නාද කරනු ලැබේ. ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණෙන විට සිත , කය , වචනය යන තුන්දොරම සංවර කරගෙන පැමිණිය යුතුවේ. පේවීම හා කට වරද්දා නොගැනීම ලෙස දක්වන්නේ එයයි. පැරණි මිනිසුන් ශ්‍රීපාදය වන්දනා කිරීම සඳහා පයින්ම පැමිණ තිබේ. එසේ පැමිණෙන විට තම ඉඩකඩම් , හරකා බාන නිවැසියන් වෙත පවරා දී පැමිණ තිබේ. එසේ කිරීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ ශ්‍රීපාදය තරණය කිරීම බොහෝ අසීරු අපහසු කාර්යක් වීමයි.  ක්‍රි.පු.300 පමණ ලංකාවට පැමිණි මහා ඇලෙක්සැන්ඩර් රජු දම්වැලක එල්ලී ශ්‍රීපාද කන්ද තරණය කල බව ඉතිහාසයේ කියවේ.






සමන්ත කුඨ පර්වතය පිළිබඳව මුලින්ම සඳහන් වන්නේ පස් වැනි ශතවර්ෂය මැද භාගයේදී 'බුද්ධගෝෂ' හිමියන් විසින් ලියන ලද 'සමන්ත පාසාදිකාව' නම් විනය පිටක අට්ඨකතාවෙහි ත් 'ධාතුසේන' රජ දවස 'මහානාම' හිමියන් විසින් ලියන ලද මහාවංශයෙහිත් ය. ශ්‍රී පාදය වන්දනා මාන කල රජවරු පිලිබඳ සඳහන් සෙල්ලිපි ගණනාවක් ඇත. මහා වංශය , දීපවංශය , චුලවංශය , රාජාවලිය , සමන්ත කුඨ වර්නාවේද යන ග්‍රන්තවලද මේ පිළිබඳව ලියවී තිබේ. කෝට්ටේ යුගයේ ලියවුනු සැළලිහිණි සංදේශයේ සමනල කන්ද පිළිබඳව මෙසේ දැක්වේ. 

සුරරද සමන් සමගින් සුරඟන එවර
පැහැ නද මදාරා පරසතු මල් පතර
කර පුද වඳින රැඳී මුනි සිරිපා තඹර 
සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර

 දුටුගැමුණු රජ දවස ශ්‍රීපාද අඩවිය රහතන් වහන්සේලාගෙන් පිරි තපෝ භූමියක්ව තිබු බව සඳහන් වේ.  ඉතිහාසයේ  දැක්වෙන ආකාරයට පළමුවෙන්ම සිරිපා වන්දනා කිරීම සිදු කර ඇත්තේ ක්‍රි. පූ.29-17 අතර කාලයේය. එකල රජකම් කල වළගම්බා රජතුමා ශ්‍රීපාදය වන්දනා කර තිබේ. ශ්‍රීපාදයේ දියුණුවට විශාල සේවයක්ද මේ රජු විසින් සිදු කර තිබේ. සිරිපා වන්දනාව පිලිබඳ තොරතුරු සඳහන් වන සෙල්ලිපි දෙකක් 'පළමුවන විජයබාහු' රජු විසින් 'අඹගමුව' හා 'ගිලිමලේ' යන ප්‍රදේශවල පිහිටුවා ඇත. 'අඹගමුව' සෙල්ලිපියේ වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සඳහා විශ්‍රාමශාලා කිහිපයක් කරවූ බවද මාර්ගය ආසන්න කෙත්වතු හා ගම්බිම් පරිත්‍යාග කල බවද දැක්වේ. 'මහා පරාක්‍රමබාහු' රජතුමාද ශ්‍රීපාදය වැඳපුදා ගත්බව සඳහන් වේ. එතුමා සුමන සමන් දෙවියන් සඳහා සිරිපා මළුවේ දේවාලයක් ඉදිකර තිබේ. 'නිශ්ශංකමල්ල රජතුමා' ද ශ්‍රීපාදය වන්දනාමාන කල ආකාරයත් පවරා දුන් ගම්බිම් පිළිබඳවත් 'භගවා ලෙන' ගල් ගුහාවේ ඇඳ තිබේ. 'දෙවන පරාක්‍රමබාහු' රජතුමා ශ්‍රීපාදය සඳහා කරන ලද ධන පරිත්‍යාගයන් පිළිබඳව පැරණි ග්‍රන්ථ බොහොමයක දක්වා ඇත. නමුත් 'සීතාවක රාජසිංහ' රජු ශිව ආගම වැළඳ ගැනීමත් සමග ශ්‍රීපාද හි භාරකාරත්වය බෞද්ධ භික්ෂුන්ගෙන් ගිලිහි ගොස් හින්දු පුජක පිරිසක් වූ ආඬින්ට හිමිවිය. ඉන් පසුව රජවූ 'දෙවන විමලධර්මසුරිය' රජතුමා ශ්‍රිපාදයට ගොස් සත් දිනක් තිස්සේ මහා පින්කම් සිදුකර තිබේ.  

මිට සියවස් කිහිපයකට කලින් සිරිපතුල නිරාවරණව පැවතී හෙයින් එය ඇස්පනාපිටම දැක බලාගත් අය වෙති. ඉබන් බතුතා, චාඕ ජුකුමා , සුලේයිමන්තුමා , ඉබන් තාබුර් දාබ්බේ වැනි ය තබා ඇති සටහන් තුලින් ඒ බව සනාත වේ. නමුත් සිරිපතුල පිළිබඳව ඔවුන් දක්වන ප්‍රමාණයන් වෙනස් වේ. පසු කාලයේදී පැමිණි විදේශීය ජාතිකයන් සිරිපතුලේ කොටස් ගලවාගෙන යාම හේතුවෙන් සිරිපතුල ප්‍රදර්ශනය කිරීමෙන් වැලකි ඇත. 





Wednesday, August 17, 2016

කලින් දැනගෙන හිටියද?

ලංකාවේ දිය ඇලි




ලංකාව පාරිසරික සුන්දරත්වය අතින් ඉහල ස්ථානයක සිටියි. මෙරට සංචාරක කර්මාන්තය දියුණු වන්නේද මේ සුන්දරත්වය නිසාය. නමුත් ලංකාවේ ජිවත් වුවද ලංකාවේ ඇති ඇතැම් ස්ථාන පිළිබඳව  අප දන්නේ නැත. ලංකාවේ ස්වභාවික පරිසරය තුල නිර්මාණය වී තිබෙන දිය ඇලි බොහෝ ප්‍රමාණයක් තිබේ. ලංකාවේ සුන්දරත්වය වැඩි කරන දියඇලි පිළිබඳව මේ ලිපිය තුළින් ඉදිරිපත් කිරීමට සිතුවෙමි. ඒ පිලිබඳ තොරතුවූ මෙසේය.

සානුවක හෝ උස බිමක නෙත්තියෙන් පහලට ඇදහැලෙන ජල ධාරාවක් දිය ඇල්ල යනුවෙන් හැඳින්වේ. ලොකු උසක සිට පතිත වන විට ප්‍රමාණයෙන් විශාල නම් එය දහර ඇල්ලකි. ඇල්ලක් නිර්මාණය වීමට නම් ගල් සහිත උස භූමියක් ඔස්සේ ලොකු ජල කඳක් පහලට ගලා ආ යුතුය. එම ගලන මග වඩා බෑවුම් සහිත වෙත්ම එහි වේගයද වැඩිවේ. භුමි නිර්මාණය අනුව පොළොවේ යම් යම් ස්ථාන ගල් සහිත උස් බිම් සහ සානු සේ නැගී සිටියි. එවන් භුමි ඔස්සේ ගැලු දිය දහර උස බිමේ හෝ සානුවේ ගැටියට පැමිණි විට එක්වරම පහල භූමියට කඩා හලේ. මෙම ජාල ධාරාවේ ඉස්මත්තට තද වැහි ලැබෙන විට ඇල්ල ජලයෙන් පිරීයයි. ඉස්මත්ත හරස් කොට බැම්මක් බැඳී විට හෝ එම පෙදෙසට වැස්ස අඩු වූ විට ඇල්ල සිහින් වෙයි.

ලංකාවේ ප්‍රධාන වශයෙන් හඳුනා ගත හැකි දියඇලි කිහිපයකි.

බඹර කන්ද දිය ඇල්ල.
දියළුම ඇල්ල
ලක්ෂපාන ඇල්ල
ඩන්සිනන් ඇල්ල
ඇබර්ඩින් ඇල්ල
රම්බොඩ ඇල්ල
ඩෙවෝන් ඇල්ල
ශාන්ත ක්ලෙයාර් ඇල්ල
දුන්හිඳ ඇල්ල
රාවණා ඇල්ල
දුවිලි ඇල්ල
බෝපත් ඇල්ල
බේකර්ස් ඇල්ල
කිතුල්ගල ඇල්ල
මානාවෙල ඇල්ල
ඒල්ජින්  ඇල්ල
ගැරඬි ඇල්ල
නානු ඔය ඇල්ල
යකා ඇඩු ඇල්ල
නවරත්න ඇල්ල
මාපනාන ඇල්ල
කුරුඳු ඇල්ල

බඹර කන්ද දිය ඇල්ල ලංකාවේ උසින් වැඩිම දිය ඇල්ලයි. උස මීටර් 265 කි. බදුල්ල දිස්ත්‍රික්කයේ ඇත. දියළුම ඇල්ල ලංකාවේ ඇති උසින් තුන්වන තැන ගන්නා දිය ඇල්ල වේ. උස මීටර් 171 කි. බදුල්ල දිස්ත්‍රික්කයේ කොස්ලන්ද නගරයට නුදුරින් වැල්ලවාය පාරේ පිහිටා ඇත. ඉතා ඈත කාලයේ කුලවත් තරුණයෙක් හා කුල හීන තරුණියක් පිළිබඳව ශෝකාන්තමය පුවතක්ද මේ ඇල්ල සම්බන්ධයෙන්වේ. ලක්ෂපාන ඇල්ල නුවර එලිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර උස මීටර් 125 කි. සමනල කන්දෙන් ඇරඹී කැළණි ගඟට වැටෙන මස්කෙළිය ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි. ලක්ෂපාන ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක වන්නේ මෙම ඇල්ලේ ආධාරයෙනි. දඩයමේ ගිය වැදි නායකයෙකු විසින් මේ ඇල්ල සොයාගන්නා ලදැයි ජනප්‍රවාදයේ ඇත. එහෙයින් එය වැද්දාගේ ඇල්ල නමින්ද හැඳින්වේ. 

ඩන්සිනන් ඇල්ල කොටස් දෙකක් ලෙස ගලා හැලෙන අතර උස අඩි 328 පමණ වේ.  ඇබර්ඩින් ඇල්ලෙහි උස මීටර් 100 පමණ වේ. කැළණි ගඟේ අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔය මේ ඇල්ල නිර්මාණය කරයි. ඇබර්ඩින් යන නම මේ ඇල්ලට ලැබී ඇත්තේ ස්කොට්ලන්තයේ සිට පැමිණි සුදු ජාතිකයෙකු ගේ ඇබර්ඩින් යනුවෙන් නම තැබූ ඔහුගේ වත්ත ඒ අසල තිබු නිසා යැයි කියයි. රම්බොඩ ඇල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. උස මීටර් 109 පමණ වේ. කොත්මලේ ඔයේ අතු ගංගාවක් වන පන්න ඔයෙන් හට ගනියි. ඩෙවොන් ඇල්ලෙහි උස මීටර් 97 පමණ වේ. මෙම ඇල්ල නිර්මාණය කරන්නේ කොත්මලේ ඔය විසිනි. එඩ්වර්ඩ් බාන්ස් නම් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා 1823 දී ගන්නොරුව ප්‍රදේශයේ මෙරට කෝපි වගාව ආරම්භ කල සමයේ එංගලන්තයේ ඩෙවෝන්ශයර් හි සිට ලංකාවට පැමිණි ඔහුගේ හිතවෙතෙකු වැවු ඩෙවෝන් නම් කෝපි වතු යාය අසල මෙම ඇල්ල පිහිටා ඇත. මේ නම ලැබී ඇත්තේ එම නිසාය. 

ශාන්ත ක්ලෙයාර් ඇල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. උස මීටර් 80 පමණ වේ. මෙම ප්‍රදේශයේ විසූ ඉංග්‍රීසි කෝපිවතු හිමියෙකු එංගලන්තයේ විසූ ජෙනිෆර් ක්ලෙයාර් නම් පෙම්වතිය සිහිවීම පිණිස නම තබා ඇත. දුන්හිඳ ඇල්ල මීටර් 63 පමණ උසය. බදුලු ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි. කඳු මුදුනේ සිට පහලට වැටෙන ජල බිංදු ගල් කුලුවල හැපී වාතය සමග මුසුවී මීදුමක් සේ විසිරෙන බැවින් මිට දුම්හිඳ නම ලැබුණු බවත් පසුව කටවහරේදී දී දුන්හිඳ ලෙස නම ලැබුණු බවත් පැවසේ. කාලයාගේ ඇවෑමෙන්  සිදු වූ භූ ගෝලීය විපර්යාසයක් නිසා හෝ බදුලු ඔයේ ගමන් මග වෙනස්වීම තුල මෙම ඇල්ල නිර්මාණය වන්නට ඇත. 

රාවනා ඇල්ල හා සම්බන්ධ කතා පුවත් රැසකි. වාල්මිකී විසින් රචිත රාමායණයේ කියවෙන රාම රාවණා කතා පුවතත් සමග මෙම අලංකාර දීය ඇල්ලත් සම්බන්ධතාවයක් පවතී. රාවණා රජතුමා විසින් සීතා කුමරිය රැගෙන විත් රඳවා තැබුවායි සැලකෙන්නේ රාවණා ඇල්ල සමීපයේය. මෙහි උස අඩි 131 ක් වේ. රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති දුවිලි ඇල්ල උස මීටර් 93 පමණ වේ. පළල දිය ඇල්ලකි. දුවිලි ඇල නම් කුඩා ඔය මේ ඇල්ල නිර්මාණය කරයි. පහලට ඇදවැටීමේ සියුම් දුවිල්ලක් හෝ දුමක් මෙන් ජල බිඳිති විසිරැ යාමත් සිදුවන  නිසා මෙම නම ලැබී ඇත. බෝපත් ඇල්ල පිහිට ඇත්තේ රත්නපුර නගරයේය. උස මීටර් 30 පමණ වේ. දුර සිට බලු විට බෝකොලයක හැඩයෙන් පෙනෙන නිසා මෙයට මෙම නම ලැබී ඇත. කුරු ගඟ මෙම ඇල්ල නිර්මාණය කරයි. 

බේකස් ඇල්ල උස මීටර් 20 පමණ වේ. බෙලිහුල් ඔයේ ශාකාවකින් නිර්මාණය වේ. සැමුවෙල් බේකර් නම් ඉංග්‍රීසි ජාතිකයෙකු මෙය සොයාගෙන ඇත. කිතුල්ගල ඇල්ලෙහි උස මීටර් 15 කි. උනාලු කන්දේ පටන්ගෙන කැළණි ගඟට එක්වන ගරන්කිති ඔය මේ ඇල්ල නිර්මාණය කරයි. කිතුල්ගලට සමීප බැවින් මේ නමින් හැඳින්වේ. මානාවෙල ඇල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර උස මීටර් 25 කි. මානාවෙල හා බුවලි පොළ ඔය යන ඒවායින් මේ ඇල්ල නිර්මාණය වේ. ඒල්ජින් ඇල්ල උස මීටර් 25 කි. දබගස්තලාව ඔය මේ ඇල්ල නිර්මාණය කරයි. මේ නම ලැබුනේ අසල තේ වත්තක නම නිසාය. ගැරඬි ඇල්ලේ උස මීටර් 46 ක් වේ. ජලය හිග කාලයට දුර සිට බලු විට මේ ඇල්ල පෙනෙන්නේ බෑවුම් ගල් තලාවක් දිගේ පහලට බහින ගැරඬියෙකු ලෙසයි. නානු ඔය ඇල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. උස මීටර් 60 පමණි. නානු ඔයෙන් මෙම ඇල්ල නිර්මාණය වී තිබේ. මෙහි විශේෂත්වය හෙල්මළු සහිත බෑවුම් ඔස්සේ ගලා බැසීමයි. 

යකා ඇඩු ඇල්ලේ උස මීටර් 61 පමණ වේ. බුදුන් වහන්සේ ශ්‍රීපාද ලාංජනය පිහිටු වීම සඳහා සමනල කන්දට වැඩි අවස්ථාවේ මේ ජල දහරාව ඇරඹෙන ස්ථානයේ මිත්‍යා දෘෂ්ටික යක්ෂයෙක් අසතුටට පත්ව හඬා වැටුණු නිසා මේ නම ලැබුණු බව ව්‍යවහාර වේ. බදුල්ල දිස්ත්‍රික්කයට අයත් නවරත්න ඇල්ලේ උස මීටර් 110 කි. වෙලන්ගල්ල නමින් හැඳින්වෙන කන්දෙන් ආරම්භ වී මහවැලි ගඟට එක්වෙන හසලක ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි. මේ ඇල්ලට මෙම නම ලැබී ඇත්තේ මැණික් වර්ග නවයක් සහිත රන් සෙම්බු කිහිපයක් ඇතුලත් පැරණි රාජධානියක් මේ ඇල්ල අසල ඇතැයි යන විශ්වාසය නිසාය. මාපනාන ඇල්ල එලිඔයෙන් නිර්මාණය වේ. උස අඩි 486 ක් වේ. කුරුඳු ඇල්ල මුහුදු මට්ටමේ සිට මීටර් 1103 ක උසකින් පිහිටා ඇත. එහි උස අඩි 676 කි. ලංකාවේ උසින් දෙවන තැනට පත්වන ඇල්ල වේ. කුරුඳු ඔයෙන් නිර්මාණය වන අතර එමගින් මහවැලි ගඟ හරහා රන්දෙණිගල ජලාශය පෝෂණය කරනු ලබයි.

මෙම දියඇලි වලට අමතරව තවත් කුඩා දියඇලි බොහෝමයක් ලංකාව තුල දැකගත හැකිය. 
අන්තර්ජාලය ඇසුරින්...


Tuesday, August 16, 2016

මස් කන උන්ට වඩා කටු කන උන්ගේ සැර වැඩිය...


වාට්ටුව 





කුරුණෑගල ඉස්පිරිතාලේ එක්තරා වාට්ටුවකි..මමද දිනක් එහි ගත කලේ නෑදෑයෙකුගේ උදව් ලෙසයි. වාට්ටුවේ දොස්තර කඩවසම් තරුණයෙකි. නමුත් කුකුල් කේන්ති කාරයෙකි. ඉස්පිරිතාලයට ඇතුලත් කරගන්නා අසාධ්‍ය නොවන රෝගීන් ඇතුලත් කරගන්නේ මේ වාට්ටුවටයි. රාත්‍රී කාලයේ වාට්ටුව තුල ඇත්තේ කලබල කාරී ගතියකි. දොස්තර , හෙදියෝ සහ සේවිකාවෝ වැඩහි යෙදෙයි.

මේ අය අතරින් සැර වැඩිම සේවිකාවන්ගේය. ඔවුන් දන්නා දෙයක්ද නැත. නොදන්නා දෙයක්ද නැත. වස බී , කනේරු කා පැමිණෙන අයගේ විස්තර අසා වාට්ටුව පුරා වාර්තාව සපයන්නේ ඔවුන්ය.  හරියටම ගමේ සංගමය නියෝජනය කරයි. ඒ විතරක් නම් කමක් නැත. එසේ පැමිණෙන ලෙඩ්ඩුන්ට බැන වදින්නේද මේ සේවිකාවන්ය. කෙනෙක් වස බොන්නේ කුමක් හෝ හේතුවක්ය නිසාය. එයට හේතුව අසා සේවිකාවන්ට එය විනිශ්චය කිරීම අවශ්‍ය නොවේ. එය පෞද්ගලික කාරනාවකි. ඔවුන්ගේ යුතුකම වන්නේ එම රෝගියාව සනීප කිරීමට සහය දීමයි. වාට්ටුවේ දොස්තරට හා හෙදියන්ට වඩා ඉහලින් ඉන්නේ සේවිකාවන්ය. තමන් කවුරුන්ද යන්න හා තම වගකීම කුමක්ද යන්න මේ අය හරියට දන්නේ නැත. එය ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම නිසා විය යුතුය. මේ අය සමග බැලූ විට හෙදියන් තරමක් හොඳය. පොදුවේ ගත්කල සියලු දෙනාගේම මාර ගෑස්ය.

ඉස්පිරිතාලයට කෙනෙක් එන්නේ ලෙඩවෙලා බෙහෙත් ගැනීමටයි. එයින් ඉස්පිරිතාලයේ නතර වන්නේ අමාරු ලෙඩ්ඩුය. ඕනෑම ගණන්කාරයෙක් ලෙඩ වූ පසු අසරණ වන්නේය. එම ලෙඩ්ඩුන්ට බැන වැදීම හොඳ දොස්තර මහතෙකුගේ ලක්ෂණයක් නොවේ. වෛද්‍යවරයා ලෙඩ්ඩුන්ට කාරුණික විය යුතුමය. අසරන වී රෝහලට පැමිණෙන අයෙකුගේ මානසික මට්ටම ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. වෙදකමට වඩා හෙදකම වටිනා බව කියන්නේ කට කහනවාට ද නොවේ. ලෙඩෙකුට බෙහෙත් වලට වඩා ආදරය කරුණාව ලැබීම ම රෝගය සුවවීමට හේතුවකි. ඇතැම් දොස්තරමහතුන් ලගට ගොස් කතාකර ආවත් ලෙඩ හොඳ වෙන බව පවසන්නේ එහෙයිනි. නමුත් මේ වාට්ටුවේ දොස්තර හමුවූ විට නැති ලෙඩත් ඇතිවේ. 

වාට්ටුවේ මා දුටු උදාහරණයක් මෙසේ වේ. වාට්ටුවට කාන්තාවක් පැමිණියේ බඩේ අමාරුවක් කියාය. ඇය දෙස බැලු බැල්මටම ගමක ජිවත් වන දුප්පත් අසරණ කාන්තාවක් බව පෙනේ. ලග නතර වන්නට කෙනෙක් සිටියේද නැත. හෙදිය ආවේය.

කවුද ඔයාගේ ළඟ ඉන්නේ?
කවුරුවත් නෑ මිස්
නෑ කියල බෑ. කවුරු හරි එක්ක එන්න.
එක්ක එන්න කෙනෙක් නෑ මිස්

ඒ ගෑනු කෙනාට එක්ක එන්න කෙනෙක් සිටියානම් හෙදිය කියන තුරු සිටින්නේ නැත. නමුත් ඇත්තටම කෙනෙක් නොසිටියා විය හැකිය. සල්ලි දී කෙනෙක් ගෙන්වා ගැනීමේ හැකියාවක් නැතිවා වෙන්නට හැකිය. එම නිසා හෙදියන් එසේ පැවසීම සුදුසු නැති බව මගේ හැඟීමයි. එවැනි අසරණ මිනිසුන්ට උදව් කිරීමට හෙදියන්ට හා සේවිකාවන්ට හැකිවිය යුතුය. ඔවුන් රැකියාව ලබා ගත්දී ප්‍රතිඥා ලබා දෙන්නේ ඒ වෙනුවෙනි. නමුත් ප්‍රයෝගිකව බැලීමේදී ඒ ප්‍රතිඥාව බල්ලාට වත් දැමිය හැකි නොවේ. පසුව හෙදිය පැමිණ උණ කටුවක් ඇගේ අඟ මත තබා ගියේ කිසිත් නොකියාය. එම කාන්තාව උණ කටුවට කිසිත් නොකර එසේම තබාගෙන සිටියේ එය කොහේ තියාගන්නවාදැයි නොදැනයි. මා එය නිශ්චය කර ගත්තේ හෙදිය පැමිණ එය තබා ගෙන නැති බව පවසා අත උස්සන්න යැයි කි විට ඇය අතේ පහල කොටස පමණක් එසවූ නිසාය. නැවත හෙදිය අත උස්සා උණ කටුව තැබුවේය. උණ කටු තබා නැති කෙනෙකු ඒ පිළිබඳව දන්නේ නැත. හෙදිය තම රාජකාරිය නිසිලෙස ඉටු කිරීමට දැන ගත යුතුය. ඔවුන්ට රජයෙන් වැටුපක් ගෙවන්නේ ලෙඩ්ඩුන්ට බැන බැන ඇවිදීමට නොවේ. 

පැවසිය යුතු තවත් දෙයක් ඇත රජයේ රෝහලට පැමිණෙන්නේ පිනට බෙහෙත් ගන්නට කියා රෝහලේ අය සිතයි. නමුත් ඔවුන් වැටුප් ලෙස ලබාගන්නේත් තව මදියි කියමින් උද්ගෝෂණය කර වැඩි කර ගන්නේත් මේ රටේ ජනතාවගේම සල්ලිය. දුප්පත් මිනිහාගේ රුපියල දෙකද ඔවුන්ගේ වැටුපට එකතු වෙයි. එහෙත් බෙහෙත් ටිකක් ගන්නට ගිය විට ඔවුන් හම්බකරගත් දේවල් ඉල්ලන්න ගියා සේ සලකන්නේ ඇයි දැයි නොදනී. හරියට ඔවුන් හැසිරෙන්නේ ලෙඩ්ඩු පැමිණෙනවාට අකමැති සේය.

ඉහත කි කාන්තාව බැලීමට තරුණ දොස්තර මහතා පැමිණියේය. ඇයගෙන් සායන සටහන් පොත ඉල්ලු විට එය රැගෙන විත් නොමැති නිසා ඇයට බැන වැදුණේ ය. ගෙදර නොයිද රෝහලට පැමිණියේ කුමක් නිසාද යැයි ඇසුවේය. කාන්තාව අසරණ වී හවස පොත ගෙනත්දෙන්නම් යැයි පැවසුවේය. පොත ගේනකම් බෙහෙත් නොදෙන  බවද පැවසුවේය. දොස්තර මහතා ගේ පැත්තෙන් ඔහු නිවැරදි වේ. නමුත් දොස්තරට තේරෙන දේ කාන්තාවට නොතේරේ. එවිට ඔහුගේ වගකීම වන්නේ එය සෙමින් පැහැදිලි කර දීමයි. ඇතැම් විට ඔවුන් කුමක් කියන්නේද යන්න පවා ලෙඩ්ඩුන්ට නොතේරේ. වෛද්‍ය විද්‍යාව ගැන රෝගියාට දැනුමක් නැත. ඔවුන් ලෙඩක් හැදුනු විට ඇවිත් රෝහලේ නතර වෙයි. රෝහල් කාර්ය මණ්ඩලයේ වගකීම වන්නේ ඔවුන්ට සියලු දේ පැහැදිලි කර දීමයි.  

වෛද්‍ය වරයෙකු කාරුණික වීම අත්‍යාවශ්‍ය වේ. එමෙන්ම රෝගියාව හොඳින් තේරුම් ගැනීමේ හැකියාවද තිබිය යුතුවේ. මේ වාට්ටුවේ දොස්තර මහතා රෝගීන් සමච්චලයට ලක් කරයි. ඒකටම ගැලපෙන නර්ස් නෝනලා ටික හා සේවිකාවන් දොස්තරගේ වචනවලට හිනාවෙයි. එවිට දැනෙන අපහසුතාවය ගැන දොස්තරලා වුවත් ඔවුන්ට නොතේරෙන එක කනගාටුවට හේතුවකි. 

මා නතර වී සිටියේ අතක් හා කකුලක් තරමක් දුරට වලංගු නැති වයසක කාන්තාවක් ලඟයි. ඇයට අමාරුවෙන් අල්ලාගෙන ඇවිදීමේ හැකියාව ඇත. දොස්තරට අනුව ඇයට ලෙඩක් නැත. අමාරුවෙන් ඇවිදින විට මේ ඇවිදින්නේ හොදට යයි පවසයි. ඇයට ඇත්තේ අංශභාග රෝග ලක්ෂණද නොවේලු. එසේනම් දොස්තරගේ ඊළඟ වගකීම වන්නේ මෙසේ වීමට හේතුව කුමක්ද යන්න සොයා බැලීමයි. නමුත් ඔහු දවස් දෙකක්ම කලේ කොලේ කුරුටු ගා කුමන හෝ පෙති භාගයක් ලබා දීමයි. ඇයව පරීක්ෂණයකට ලක් කලේ දින තුනකට පසුවයි. පෞද්ගලික රෝහලකට ගියා නම් හැම පරීක්ෂණයක් කරන්නට කියයි. රෝගය සොයා ගැනීමට බොහෝ මහන්සි වෙයි. නමුත් රෝහලට ගිය විට ඉන්නෙත් ඒ වෛද්‍ය වරුමයි. ප්‍රතිකාර පස්සට යයි. ඔවුන් සේවය කරන්නේ පිනට නොවේ. වැටුපක් ඒ සඳහා ඔවුන්ට ලැබේ. ඒ වැටුපට සරිලන ලෙස සේවය කිරීම කාගේත් යුතුකමකි. කනගාටුවට කරුණනම් ඔවුන්ට එය අමතක වීමයි.

රෝහලක් තුල මහජන සම්බන්ධතාව තිබිය යුතුමය. රෝගියාට රෝහල  ප්‍රියමනාප තැනක් කල යුතුය. විශේෂයෙන්ම  හෙදියන්ට හා සේවිකාවන්ට රෝගීන් සමග ගනුදෙනු කරන ආකාරය කියා දීය යුතුය. ඔවුන්ට ඉවසීම පුරුදු කල යුතුය. වැඩ වැඩි බව ඇත්තය. නමුත් එය නිදහසට කාරනාවක් නොවේ.

මේ එක් වාට්ටුවක් තුල පමණි. පොදුවේ ගත් කල හැම වාට්ටුවකම මෙසේය. නමුත්  ඉඳ හිට හොඳ වෛද්‍යවරු , හෙදියන්  හා සේවිකාවන් ද හමුවේ. දෙවිවරු වගේ වෛද්‍යවරුද සිටියි. ඒ සියයට එකක් පමණය. ඉතිරිය බාග දෙවියන් හා දෙවියන් නොවන අයයි.  නමුත් සාමාන්‍ය ජනතාව දොස්තර මහත්තයාට හෝ නෝනට බොහෝ සේ ගරු කරයි. සමාජය තුල පිළිගැනීමට ලක් කරයි. ඔවුන් එකම රැකියාව තුලින් හිස උදුම්මවා ගන්නේ නම් එය සැබෑවටම කනගාටුවට කරුණක් වේ. මා මෙයින් වෛද්‍යවරුන්ට හා රෝහල් කාර්ය මණ්ඩලයට බැන්නා නොව. අපි කවුරුත් දන්නා සැබෑ තත්වය  පිළිබඳව ඉදිරිපත් කළා පමණි. රජයේ රෝහලකට ගිය සියලු දෙනා මේ පිළිබඳව හොඳින් දනී. රෝහල මෙසේ විය යුතු නැත. අප සියලුදෙනාම අපගේ වගකීම් යුතුකම් දන්නේ නම් ප්‍රශ්නයක් වන්නේ නැත. එමෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය කාරුණික වන්නේනම් ඊටත් වඩා හොඳය. විශේෂයෙන්ම සේවිකාවන්ට රෝගීන්ට කාරුණික වීමට උපදෙස් ලබා දෙන්නේ නම් ඉතා හොඳය. මෙය ප්‍රායෝගිකව සිදුකල නොහැකි බව මා දනී. එය තමා විසින්ම ඇති කරගත යුතු දෙයකි. සිදුවිය යුත්තේ රෝගියාට උදව් කිරීමයි. නමුත් කොහේ ගියත් සිදුවන්නේ මස් කන උන්ට වඩා කටු කන උන්ගේ  සැර වැඩි වීමයි.






Friday, August 12, 2016

ඇතුවත් බැරි නැතුවත් බැරි love

ඇතුවත් බැරි නැතුවත් බැරි love







ආදරේ කියන්නේ මොකද්ද කියල කවුරු හරි ඇහුවොත් අපිට හරි උත්තරයක් දෙන්න පුලුවන්ද , ආදරේ කියන්නේ මෙන්න මේකයි කියල? මිනිස්සුන්ට විතරක් නෙවෙයි සත්තුන්ටත් ආදරේ ඕනේ. සත්තුන්ට වඩා හිතන්න පුළුවන් දියුණු සමාජයක ජිවත් වෙන මිනිස්සු ආදරේදී හැසිරෙන්නේ හරිම පුදුම විදිහට. ආදරේ වෙනුවෙන් කෙනෙක් අඩද්දී තවක් කෙනෙක් හිනාවෙනවා. මිනිස්සුන්ගේ ජිවිත වලට සතුට අරන් එන්නෙත් දුක අරන් එන්නෙත් ආදරේමයි. 

ඉතිහාසය කියවනකොට අපිට හරිම ලස්සන ආදර කතා හම්බවෙනවා. ඒ වගේම දුක හිතෙන ආදර කතාත් හම්බවෙනවා. දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය කුමාරයා රජකම අහිමි කරගත්තේ සැඩොල් කුලේ කාන්තාවකට ආදරේ කල නිසා. එතකොට ජෝදා අක්බර් ආදර කතාවත් ඉතිහාසයෙන් අපට දැනගන්න ලැබෙන ලස්සන ආදර කතාවක්. තාජ් මහල් නම් විශිෂ්ඨ නිර්මාණය බිහිවෙන්නේත් ආදර කතාවක් නිසා. ඒ වගේම අමතක කරන්න බැරි රෝමියෝ ජුලියට් ආදර කතාව ඉතිහාසයේ මතක සටහනක් වගේ. මේ පුංචි උදාහරණ කිහිපයක් විතරයි. මිට වඩා ඕනේ තරම් ආදර කතා ඉතිහාසයෙන් හොයාගන්න පුළුවන්. එත් මේ ආදර කතා පිටිපස්සේ අපි නොහිතන අපිට නොපෙනෙන දුකකුත් තියෙනවා.

ඒක මං මේ විදිහට පැහැදිලි කරන්නම්. පුංචි කතාවක්. ඔන්න දවසක් දා සිටුවරයෙකුයි එයාගේ බිසවටයි හැමදාම ආදරෙන් සතුටින් ඉන්න විදිහ හොයාගන්න ඕනේ වුනා. ඉතින් මේ දෙන්නා එක එක්කනාගෙන් අහගෙන යනකොට එක තාපසයෙක් හම්බ වුනා. ඒ තාපසය කිව්වා සතුට හොයාගන්න ඕනෙනම් හැමදාම සතුටින් ඉන්න කෙනෙක් ළඟ තියෙන කසී සළුවකින් කෑල්ලක් ඉල්ලන් එන්න කියල. ඉතින් මේ දෙන්න සතුටින් ඉන්න කෙනෙක් හොයාගෙන ගොඩක් දුර ඇවිද්දත් කසී සළුවක් හොයාගන්න හම්බුනේ නෑ. ඔහොම යන අතරේ එයාලට අහන්න ලැබුන සතුටින් ජිවත් වෙන යුවලක් ගැන. මේ දෙන්න ඒ අයව හොයාගෙන ගිහින් ඇත්තටම සතුටින් ජිවත් වෙනවද කියල ඇහුවා. ඊට පස්සේ ඒ යුවල කිව්වා ඔව් අපි ගොඩක් සතුටින් තමයි ජිවත් වෙන්නේ අපි අතර කවදාවත් හිත් අමනාපයක් වෙලා නෑ කියල. ඒ අය එක්ක කතා කරපු සිටුවරයයි බිසවයි ගොඩක් සතුටු වෙලා ඒ අයගෙන් තමන් ළඟ තියෙන කසී සළුවකින් කෑල්ලක් ඉල්ලුවා. ඒත් මේ යුවල ළඟ කසී සළුවක් තිබුනේ නෑ. මේ දේ අහපු සිටුවරයයි දේවියයි තේරුම් ගත්තා  හැම කෙනෙකුටම කුමක් හෝ අඩුපාඩුවක් තිබෙන බවත් සදාකාලික සතුටක් නැති බවත්. 

සමාජය තුල අපිට පිටින් පේන්න තියන දේට වඩා අභ්‍යන්තරය තුල තියෙන දේ ගොඩක් වෙනස්. අපි ගොඩක් වෙලාවට හරි වැරැද්ද නිශ්චය කරන්නේ පිටින් පේන දේ අනුව. නමුත් ඇත්ත තත්වය ඊට වඩා ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්. ආදරයත් ඒ වගේ.  අපි  ආදරේට නම් දානවා. ඒක නිසා ආදරෙත් එක එක වර්ග තියනවා. එකක් තමයි සම්මත ආදරේ. අපි හැමෝම කැමති එකටනේ. අනිත් එක අසම්මත ආදරේ. ඇයි අපි අසම්මත ආදරේට අකමැති. ඇත්තටම අපි හොඳ නිසා ද නැත්තම් අපි හොඳ ගාගන්න හිතන නිසාද. කෙනෙකුට සම්මත ආදරයක් විදිහට දැනෙන දෙයක් තවත් කෙනෙකුට අසම්මත ආදරයක් විදිහට පෙන්න පුළුවන්. එත් අපි ඒ අසම්මත ආදරේට බනින ඒක වැරදි දෙයක් කියලයි මටනම් හිතෙන්නේ. ඒ වගේම මේ දෙකටම වඩා අපිට බරපතලව දැනෙන්නේ සමලිංගික ආදරේ. සමලිංගික ආදරේ සම්මත ආදරයක් වෙන්න බැරිද? කෙල්ලෙකුයි කොල්ලෙකුයි කරන ආදරේ වගේම කෙල්ලෝ දෙන්නෙක් හරි කොල්ලෝ දෙන්නෙක් හරි කරන ආදරෙත් ආදරේම තමයි. නමුත් අපි ඔවුන්ගේ ආදර කතා දිහා බලන්නේ වපරෙටයි. තව කෙනෙක්ගේ ආදරේට වැරදි අඩුපාඩු කියන්න කලින් ඒ පිළිබඳව මධ්‍යස්තව සිතන්න ඕනේ. බුදුහාමුදුරුවෝ දේශනා කලේ අනුන්ට දෙයක් කියන්න කරන්න කලින් තමන්ට ඒ දෙය සිදුවනවාට කැමතිද නැද්ද යන්න සිතා බලන ලෙසයි. ඒත් එහෙම වෙන බවක්නම් පෙන්නේ නැහැ. 

සමහර වෙලාවට අපිට අහන්න ලැබෙනවා ආදරේ නිසා ජිවිත අහිමි කරපු අවස්ථා ගැන. එතැන සැබෑ ආදරයක් තියනවද කියන ඒක ප්‍රශ්නයක්. ඒ වගේම ආදරේ නිසා තමන්ගේ ජිවිතේ අහිමි කරගන්න අය ගැනත් අහන්න ලැබෙනවා. ජීවිතයක තියෙන වටිනාකමට වඩා ආදරේ වටිනාකම වැඩි බව එතැනින්ම අපිට පේනවා. ඒ වගේම ආදරේට මිනිස්සු තුල තියෙන කෑදරකමත් එතැනින් පේනවා. ඔය අතර ආදරේ පරිත්‍යාග කරපු අයත් අපි අතරේ ඉන්නවා. ඇත්තටම ආදරේ කියන්නේ තමන්ටම හිමිකර ගන්න එකවත් බලෙන් ලබා ගන්න එකවත් නෙවෙයි. ආදරේ පරිත්‍යාගයක්.

ආදරේ ගැන අපි ගොඩක් වෙලාවට හිතන්නේ අපේ සංස්කෘතික වටපිටාවත් එක්ක සහ ආගමික බැඳීම් එක්ක. ඒවත් එක්ක මේ  දේවල් හොදයි මේ දේවල් නරකයි කියල වර්ග කරගෙන ඉන්නවා. ඒක නිසා අපිට ආදරේ තියෙන අඩුපාඩු පෙන්න ගන්නවා. එත් ඇත්තටම සමාජය දිහා ඇස් ඇරලා බැලුවොත්  මේ හැමදේකම තියෙන පුහු බව පේන්න ගන්නවා. ශ්‍රී ලාංකිකයෝ විදිහට අපිට තියෙන්නේ බොහොම ප්‍රෞඩ ඉතිහාසයක්. ඒ වගේම අපේ සංස්කෘතිය ගත්තම බටහිර ජාතීන්ට වඩා බොහෝම ආචාරසම්පන්න ජාතියක්. අපි එහෙම කියාගත්තට අද ලංකාවේ ස්ත්‍රි දුෂණ කියක් වෙනවද ? මිනි මැරුම් කියක් වෙනවා ඇතිද මේ ලිපිය කියවන අතරේදීත්. ඒ වගේම දික්කසාද නඩු කියක් විභාග වෙනවා ඇතිද? අපේ රටේ අපි විවාහ වෙනකොට නැකත් බලනවා , හඳහන් බලනවා තවත් නොයෙක් දේවල් කරනවා. ඒවගෙන් බලන්නේ විවාහය සඳහා දෙදෙනාගේ ගැලපීම. නමුත් මේ තුලින් දෙදෙනෙක් අතර ආදරය ඇති කරන්න බැහැ. මේ නිසා තමයි බොහෝ වෙලාවට ඔවුන් දික්කසාද වෙන්නේ. 

ආදරේ කරද්දී දෙදෙනා තුලම ඉවසීම , අදහස් වලට ගරු කිරීම , නම්‍යශීලිත්වය තියෙනවනම් සතුටින් ඉන්න ඒක අමාරු දෙයක් නෙවෙයි. එත් දැන් තරඟකාරි සමාජයත් එක්ක මිනිස්සුන්ට ආදරේ අමතක වෙලා. මේ නිසා හිත් රිදවීම් ඇතිවෙලා. පවුල් අවුල් වෙලා. ඒ වගේම ආදරේ සල්ලි එක්ක කලවම් වෙලා. මේ වෙනකොට මිනිස්සුන්ට ආදරේ ඇතුවත්  බැරි නැතුවත් බැරි දෙයක් වෙලා.  

Tuesday, August 9, 2016

පුංචි කතාවක්

පසුතැවීම.
                

වේලාසනින් අවදි වු විපුල මුළුතැන්ගෙය දෙසට පැමිණියද තමාලි ඒ පිළිබඳව එතරම් තැකීමක් නොකළේය.තමලිට ඇසෙන පරිදි කට සෝදා දැමු විපුල කුස්සියේ තිබු පුටුවෙන් වාඩි වී නිහඬවම සිටියේය.වෙනදා නම් තමා නැගිටවිත් තමාලි තුරුළු කරගත්තද දැන් එලෙස කිරීමට විපුලට සිතෙන්නේ නැත.තමාලි නිහඬවම තේ හදයි.පෙරදා රැයේ ඇය හොඳටම හැඩු නිසා මුහුණද තඩිස්සි වී ඇත.මීට කලකට ඉහතදී නම් ඇය ඉතා කඩිසර රූමත් කාන්තාවක් විය.නමුත් දැන් ඇය වෙනස් වී ඇත.ඇයට ඇත්තේ මලානික පෙනුමකි.තමාලි දෙස බලා සිටින විට විපුලට වරදකාරී හැඟීමක් දැනුනද හෂිනි සිහිවී ක්ෂණිකයෙන් එය යටපත් වී ගියේය.
                      
ආ මෙන්න.....තමාලි තේ කෝප්පය විපුල අතට දී නැවත තම කටයුතු වල නිරත වුයේ විපුලට රිදවීමට මෙනි.තවත් එතන රැඳීමට අපහසු වු විපුල සෙමෙන් සාලයට පැමිණ තේ බොන්නට විය.
                     
තමා පුතු හා තමාලි වෙනදා කොතරම් සතුටින් සිටියේදැයි සිතීම විපුලට මහත් වේදනාවක් ගෙන දෙන්නක් විය.සියල්ල තමාගේ වරදය.තමාලි වේදනාවෙන් හඬන සෑම දිනකම විපුලද සිතින් හඬා වැටුනේය.ඔහු තමාලිට ආදරය නැතිව නොවේ.නමුත් හෂිනිගෙන් ඈත් වීමේ ආත්මශක්තියද විපුල සතු නොවිය.විපුල ගිරයට හසුවූ පුවක් ගෙඩිය මෙන් හෂිනි අතරත් තමාලි අතරත් දෝලනය වෙයි.තේ බොමින්ම විපුල කල්පනාවට වැටි සිටියේය.අතීතය විපුල  ඉදිරියේ මැවි පෙනුනේ රූපරාමුවක් පරිද්දෙනි.
                        
තමාගේ කාර්යාල සහයිකාව ලෙස පැමිණි හෂිනි දුටු පළමු දිනයේම විපුලගේ සිත් ගත්තේය.ඇය ඕනෑ තරම් වෙලාවක් බලාසිටීමට හැකි තරම් රූමත් බවකින් පිරී ඇතැයි විපුලට සිතුනි.හෂිනිද ඉක්මනින් කාර්යාලයේ අනෙක් අය සමග සුහද විය.විපුලට වෙනදාට වඩා කුමක්දෝ නොතේරෙන වෙනසක් දැනෙන්නට විය.තම කාර්යාල කාමරය පිරී ඇතැයි ඔහුට සිතුනි.විපුල ඇය සමග වැඩි කතාබහකට මුලින්ම නොගිය නමුත් ඇය ගැන විමසිල්ලෙන් පසුවිය.
                        
වෙනදා තමාලි ඇහැරවන තෙක්ම නිදාගන්නා විපුලට දැන් දැන් රාත්‍රිය දිගු වැඩි යයි සිතේ.විපුල වැඩට යන්නේම හෂිනි දැකගැනීමේ බලාපොරොත්තුවෙනි.මෙලෙස දින සති ගෙවී ගියේ විපුලටත් නොදැනීය.
                 
දිනක් වැඩ නිමවී විපුල ගෙදර යන විට හෂිනි බස් නැවතුම්පලේ සිටිනු දැක ඇයට කතාකළේය.
 හෂිනි මොකද මෙතන...තාම බස් එක ආවේ නැද්ද?

නෑ සර්...අද ටිකක් බස් එක පරක්කුයි වගේ...

කොහාටද යන්නේ? විපුල විමසා සිටියේ ඇයව තම කාරයේ නංවාගෙන යාමට හැකිවේවායි පතමිනි.
නාරම්මලට සර්.

ඉතින් ළමයෝ මාත් යන්නේ ඒ පාරෙමනේ.එන්න නගින්න...මං ඔයාව බස්සවාගෙන යන්නම්.

විපුලගේ සතුට ඉහ වහා ගියේය.හෂිනිද කැමැත්තෙන්ම වාහනයට ගොඩවිය.

නාරම්මල ටවුන් එකෙන්ද බහින්නේ හෂිනි.

නෑ සර්....ටවුන් එකට මෙහා..

සර්ගේ ගෙවල් කොහෙද?

මං කළුගමුවේ...

ආ.....එහෙමද.

වෙන කවුද ඔයාගේ පවුලේ ඉන්නේ?

අම්මයි, තාත්තයි, නංගියි.

ඇයගේ කටහඬ ද ගීතවත් යයි විපුලට සිතේ.

සර් ඔය ඉස්සරහ තියන පාර ළගින් නවත්තන්න.

තෑන්ක්ස් සර්... මං යන්නම්....

ඕකේ හෂිනි..බායි...

බායි සර්....
           
විපුල ගෙදර යන විට තමාලි ආදරණියව විපුල පිළිගනු ලැබුවද  හෂිනිගේ සිහියෙන් සිටීම නිසා එය එතරම් වැදගත් නොවුනි.

ඔයාට මහන්සියි නේද විපුල..නාගෙන එන්න..මං තේ එකක් ගේන්නම් රසට.....
           
විපුල ඉක්මනින් නාන කාමරයට වැදුනේ අද දිනය ගැන නැවත නැවතත් සිහි කිරීමට අවශ්‍ය වු බැවිනි.ඔහු වෙනදාට වඩා වැඩි වෙලාවක් නෑවේය.නාගෙන එන විට තමාලි තේ එකක් සාදා තිබුණි.විපුල තේ බිව්වේද හෂිනිගේ රුව මවා ගනිමිනි.
              
කාලය ඉක්මනින් ඉගිලී ගියේ විපුලත් හෂිනිත් පෙම්වතුන් බවට පත් කරමිනි.
         
තමාලිට මේ සම්බන්ධය රහසක් විය.ඇය වෙනදා මෙන් උදෑසන නැගිට විපුලට කෑම පිස දුන්නද බොහෝ වෙලාවට එය වැටුනේ කුණු බක්කියකටයි.ඒ හෂිනි විපුලටත් එක්කම කෑම ගෙනෙන නිසාය.

ඔයාට රසට උයන්න පුළුවන්නේ පැටියො...
              
හෂිනි මොකුත් නොකියා හිනා වුනේ ප්‍රසංශාවට සතුටු වෙමිනි.ජීවිතය හරිම සුන්දරයැයි විපුලට මෙන්ම හෂිනිටද සිතුනි.නමුත් තමාලිට එන්න එන්නම ජීවිතය කටුක වීමට යාමේ කුමක්දෝ පෙරනිමිත්තක් දැනෙමින් තිබුණි.
           
විපුල වෙනදා මෙන් හැසිරෙන්නට උත්සහ කලද ඔහු කෙරෙන් යම් වෙනසක් තමාලි දුටුවේය.ඇය ඒ පිළිබඳව විමසීමට නොගියේ විපුල තමාට ආදරේ බව දන්නා නිසාය.නමුත් කෙමෙන් කෙමෙන් විපුල අතින් තමාලිට ලැබුණු සැලකිලි අඩුවන්නට විය.තමාලි විපුලගේ ආදරය බලාපොරොත්තු වුවද වෙනදා මෙන් ඇය සතුටු කිරීමේ හැකියාවක් ඔහුට නොතිබිණි.තමාලි සිතින් දුක්වන බව දැනුනත් විපුලට කළහැකි යමක් නොපෙනුණි.දිනක් තමාලි මේ පිළිබඳව ප්‍රශ්න කල අයුරු විපුලට මතක් විය.

විපුල.... ඇයි ඔය දැන් ඉස්සර වගේ නැත්තේ.ඔය වෙනස් වෙලා වගේ මට දැනෙනවා...

ඔයාට පිස්සු තමාලි..එහෙම දෙයක් නෑ.විකාර කියවන්නේ නැතුව නිදාගන්න..මට නිදිමතයි.
   
නිහඬවම අනෙක් පසට හැරුණු තමාලි හඬන බව විපුලට දැනුනි.සිතට මහා වේදනාවක් ආවද විපුල කිසිත් නොකියා සිටියේය.ඒ වෙනුවට ඔහු සිතින් දහස්වරක් තමාලිගෙන් සමාව අයැදිය.
     
එක් සිකුරාදා දිනක විපුල හා හෂිනි කාර්යාලයේ නිවාඩු දැමුවේ නිදහස් සුව විඳීමේ අරමුණෙනි.වෙනදා මෙන් කාර්යාලයට යාමට සුදානම් වුවද විපුල ගියේ කුරුණෑගලටයි.හෂිනි කුරුණෑගල බස් නැවතුම් පොළ අසල සිටින බව පෙරදා ඔහුට දැනුම් දී තිබුණි.විපුල යන විටත් හෂිනි පැමිණ මග බලමින් උන්නේය.
                 
හෂිනි ඉක්මනින් කාරයට නැග ගත්තේ කවුරුන් හෝ දකිතියි යන බිය නිසාය.

හෂිනි මේ බත් එක අර හිගන මනුස්සයට දෙන්න...තමාලි ඔතාදුන් බත් පාර්සලය හෂිනිට දිගු කළේය.

සිනා මුසු මුහුණින් පාර්සලය ගත් හෂිනි එය හිගන්නාට දුන්නේය.

අපි කොහෙද යන්නේ?

මං හිතුවේ නුවර යන්න...ඔය කැමතිද?

හ්ම්ම්...කැමතියි.

*********************************************
             
තමාලි වෙනදා මෙන් පුතාව රැගෙන යාම සඳහා පාසලට පැමිණියේය.අධික රස්නය තමාලිට හිස කැක්කුම් ගෙනෙන්නක් විය.පුතා රැගත් තමාලි ඉක්මනින් පැමිණියේ නිවාස වෙත යන බසය අල්ලා ගැනීම සඳහාය.
              
තමා විපුලට ඔතා දුන් බත් පාර්සලය වැනිම බත් පාර්සලයක් මාර්ගය අසල සිටින හිගන මිනිසා කමින් සිටිනු තමාලි දුටුවේ අහම්බයෙනි.ඇය එය ගණන් නොගෙන ඉදිරියට ගියද යලි තමා එතු බත් මුලමදැයි බැලීමට සිත්වී හිගන්නාට මුදල් ලබා දෙන ආකාරයට ගොස් බත් මුල දෙස හොදින් බැලිය.
                    
තමාලිට තම කකුල් පන නැති වේගන එනවා මෙන් දැනුණි.එය තමා විපුලට ඔතා දුන් බත් පාර්සලයම විය.තමා ඉවූ මාළුපිණි, එතු පත්තර පිටුවද එයම විට.කෑ ගසා හඩන්නට සිතුනද තමාලි ඉවසා සිටියේ කරන්නට දෙයක් නොවූ බැවිනි.
           
ගෙදර ගිය වහාම විපුලගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත්තද එය ක්‍රියා විරහිත කර තිබුණි.විපුලගේ කාර්යාලයට ඇමතුමක් ගත් තමාලිට දැනගත හැකි වුයේ ඔහු නිවාඩු දමා ඇති බවයි.තමාලිට හෙන ගෙඩියක් හිසමත පාත්වුවාක් මෙන් දැනුණි.පුතා නිම්සරට මේ කිසිවක් තේරුම් ගත නොහැකිව බලා සිටියේය.

අම්මේ.....ඇයි අම්ම අඩන්නේ?

අම්මගේ ඔලුව රිදෙනවා පුතේ...මගේ පුතා ගිහින් ඉස්කෝලෙ වැඩ කරන්නකෝ.අම්ම ටිකක් නිදාගෙන එන්නම්.... පැවසු තමාලි ඇදට වැටි ඇති තරම් හැඬුවේය.
           
විපුල වෙනසක් නැතිව වෙනදා මෙන් නිවසට පැමිණියද තමාලි පෙනෙන්නට නොවිය.තමාලි සොයා කුස්සියට යන විට ඇය උයන්නට සුදානම් වෙමින් සිටියේය.ඇයගේ කුමක්දෝ වෙනසක් තිබෙන බව දැනුනද විපුල ඇය එතරම තැකුවේ නැත.

තමාලි මට තේ එකක් හදල දෙන්න.

අද කොහෙද ගියේ? තමාලිගේ පැනයෙන් විපුල අන්දමන්ද විය.නමුත් ඒ බවක් නොපෙන්වූ ඔහු වැඩට යැයි පැවසිය.

ඇත්තද.....කවද ඉදන්ද ඔයාගේ ඔෆිස් එක කුරුණෑගලට ගෙනිච්චේ? තමාලිගේ කතාවෙන් විපුලට කටඋත්තර නැතිවිය.තමාලි සියල්ල දැනගෙනද? එහෙම වෙන්න බෑ...විපුල සිතුවේය.

ඔෆිස් එකනම් කුරුණෑගලට ගෙනිහින් නෑ.ඔෆිස් එකේ වැඩකට අද මට කුරුණෑගලට යන්න උනා.

ඒක නිසා වෙන්න ඇති බත් එක හිගන්නට දුන්නෙ.ඇයි  ඔයා මට බොරු කියන්නේ? වැඩට යනවා කියල කවුරු එක්කද ඇවිදින්න ගියේ? මං තමුසෙගෙ ඔෆිස් එකටත් කෝල් කළා.නිවාඩු දැම්මේ කොහේ යන්නද?
          
තමාලිගේ ප්‍රශ්න වැලට විපුලට උත්තර නැතුව ගියේය.ඇය සියල්ල දැනගෙන අහවරය....තමාලි හඬමින් බැනවදි....විපුල කිසිත් නොකියා කාමරයට වැදී ඇදේ හාන්සි විය.
                     
එතැන් පටන් තමාලි හැසිරුනේ නපුරු ගැහැනියක ලෙසයි.විපුල හා තමාලි අතර නිතර රණ්ඩු ඇතිවිය.තමාලි සිටියේම හඬාගත් ගමන්මය.විපුලට මෙය පීඩාකාරී වුවද තමා කරන වැරැද්ද නොකළ යුතු බව සිතුනද ඇය දුටුවිට ඒ සිතුවිලි ක්ෂණිකව යටවී යයි.
           
දුරකථනය නාද වන ශබ්දයට විපුල කල්පනා ලොවින් මිදුනේය.

හෙලෝ .....ඇමතුම තමාලිගේ මහ ගෙදරිනි.

තමාලි ඔයාට කෝල් එකක්...යයි පැවසු විපුල රිසිවරය තබා නාන කාමරය දෙසට ගමන් කළේය.
       
විපුල කාර්යාලයට යාම සඳහා සුදානම් වී මේසය දෙස බැලුවද වෙනදා මෙන් බත් මුල දැන් එහි නැත.එහෙත් පුරුද්දට මෙන් ඔහු ඒ දෙස බලයි.පිටත් වීමට සුදානම් වනවිට දොරකඩ අසලට පැමිණි තමාලි විපුලට කතා කළේය.

විපුල ....තාත්තට අසනීප වෙලා.හවස ගෙදර ගිහින් එන්න ඕනේ.කලින් එන්න පුලුවන්ද?

මං එන්න බලන්නම්...කියූ විපුල කාරය පන ගැන්වූයේය.

තමාලිගේ මහ ගෙදර යාමට විපුලට කිසිදු කැමැත්තක් නොවිය.ඔහුට වරදකාරී ගතියෙන් මිදීමට නොහැකිවීම නිසා ඔවුන්ට මුහුණ දීමට අපහසුවක් දැනුණි.තමාලිට බොරුවක් කීමට ඔහු සිතාගත්තේය.

විපුල කාර්යාලයට ගොස් තමාලිට දුරකථන ඇමතුමක් ගත්තේය.

තමාලි...මට හදිස්සියේ මීටින් එකක් වැටිලා.එන්න පුළුවන් වෙයි සමහරවිට...මං පරක්කු වුනොත් ඔයා ගිහින් එන්න.

විපුල පැවසු දේ පමණක් අසා සිටි තමාලි රිසිවරය තැබුවේය.
        
අද ටිකක් ප්‍රමාද වී යන බව සිතාගත් විපුල හෂිනිට කතාකළේය.

හෂිනි...අපි අද හවස යනකොට දශාන් එකෙන් මොනා හරි බිල යමුද?

හෂිනිගේ මුහුණ වෙනදා මෙන් ප්‍රබෝධමත් නැති බව විපුල දුටුවේ එවිටයි.

ඇයි ළමයෝ ඔයා දුකින් වගේ...?

මොකුත් නෑ සර්..අපි යමු.මට සර්ට කියන්න දෙයක් තියනවා....

මොකද්ද?

දැන් බෑ...හවස කියන්නම්.

හෂිනි ලගට ගිය විපුල ඇයගේ අතින් ඇද තුරුලට ගත්තේය.

හවස් වෙනකම් ඉන්න බෑ...දැන් කියන්න.

දැන් බෑ සර්...මං හවස කියන්නම්....කියූ හෂිනි විපුලගෙන් මිදී තම අසුන වෙත ගියේය.
       
විපුලට හෂිනිගේ මෙම වෙනස් වීම මහත් ප්‍රෙහේලිකාවක් විය.නිවසේ තත්වය එන්න එන්නම නීරස වුවද හෂිනි සිටි බැවින් විපුල ඒ ගැන එතරම් තැකීමක් නොකළේය.හෂිනිගේ හැසිරීම නිසා තමා තනිවේදෝ යන බියක් එකවරම විපුලට ඇතිවිය.
      
සවස විපුලත් හෂිනිත් අවන්හල වෙත යාමට පිටත්විය.තමාලි ඇමතුම් ගනී යයි සිතුනු බැවින් ජංගම දුරකතනයද ඕෆ් කර දැමිය.හෂිනි කතාවට අල්ලා ගැනීම හැදුවද ඇය අසන දෙයකට කෙටි පිළිතුරක් දී නිහඬ විය.රිදවාගත් සිතින් යුතුව විපුල නිහඬවම අවන්හල වෙත රිය පැදවිය.

මොකද්ද ඔයාට කියන්න තියෙනවා කිව්වේ?දැන් කියන්න බලන්න....විපුල පැවසු විට හෂිනි එක්වරම හඩන්නට පටන් ගත් බැවින් මහත් අසීරුවට පත්විය.

හෂිනි ...ඇයි ළමයෝ අඩන්නේ...ඇයව තමා දෙසට වත්තන් කරගනිමින් විපුල විමසුවේය.

මට සර්ගෙන් අයින් වෙන්න දැන් කාලේ හරි...යයි ඉකිගසමින් හෂිනි පැවසු දේට විපුලගේ පපුව දෑවේය.
ඇයි එක පාරටම එහෙම කියන්නේ?

මට බඳින්න කෙනෙක් අම්මල හොයල...එයාට අකමැති වෙන්න කිසිම හේතුවක් මට නෑ....එක නිසා මට එයාව බඳින්න වෙනවා....

හෂිනිගේ වදන් වලට විපුලගේ සිත බොහෝ රිදුනේය.නමුත් මේ සත්‍යට කවදා හෝ තමා මුහුණ දිය යුතුය.එහෙත් හෂිනිව කෙසේ අමතක කරන්නේද යන්න පවා විපුලට සිතාගත නොහැකි විය.හෂිනිත් සමග බොහෝ වෙලාවක් ගතකල විපුල නැවත ඇය මුණ නොගැසෙන්නෙමියි සිතා ගත්තේය.
                   
හෂිනිව බස්සවා නාරම්මල නගරය දෙසට එන විට දැඩි මාර්ග තද බදයක් තිබීම විපුලගේ හිස කැක්කුම තවත් වැඩි කරන්නක් විය.තමා හෂිනිට හා තමාලිට කල අසාධාරණය පිළිබඳව පසුතැවෙමින් සිටියේය.
                    
වාහන තදබදයට හේතුවී තිබුනේ රිය අනතුරක් සිදුවීමයි.සෙනග එතන වටවී සිටියේය.රෝගීන් රෝහලට ගෙනයාම සඳහා වාහනයක් නතරකර ගැනීමට වෙහෙසෙමින් සිටියේය.නමුත් එක් වාහනයක්වත් නවත්වනවා පෙනුනේ නැත.විපුලගේ කාරය අසලට පැමිණි පුද්ගලයෙක් රෝහලට යාමට උදව් කරන මෙන් ඉල්ලා සිටියද ගලායන ලේ විල දුටු විපුලගේ හිස කැක්කුම තවත් වැඩිවිය.

මගේ වයිෆ්ට සනීප නෑ.එක නිසා එන්න විදියක් නෑ...පැවසු විපුල ඔවුන්ව මගහැරියේය.

එදින විපුල නිවසට පැමිණෙන විට රාත්‍රී 7 ද පසුවී තිබුණි.ගෙදර සිටියේ පුතා පමණකි.

කෝ පුතේ අම්ම?

තාම ආවේ නෑ...

කියට විතරද අම්ම ගියේ?

පහට විතර.තාත්ත එයි කියල අම්ම ගොඩක් වෙලා බලන් ඉදල ගියේ....

පුතාගේ කතාවට විපුලට සියුම් රිදුමක් ඇතිවිය.නාගෙන ඇඳට වැටුණු විපුලට තමාගේ අනුවණකම් හේතුවෙන් තමාලි දුක් විදින බව සිහිවී ඔහුටම දොස් පවරා ගත්තේය.තමා කල වැරදි වලට සමාව ඉල්ලා නැවත තමාලි සමග පෙර තිබු සතුට නිවසට රැගෙන එනවායි විපුල එවෙලේ සිතාගත්තේය.
       
තමාලි ප්‍රමාද බැවින් ඇයගේ දුරකතනයට ඇමතුමක් ගත්තද එය ක්‍රියා විරහිත කර තිබුණි.තමාලිගේ මහගෙදරට ඇමතුමක් දුන් විපුලට දැනගත හැකිවුයේ ඇය එහි ගොස් නොමැති බවකි.මෙය අසා කලබලයට පත් වුවද විපුලට කල හැකි යමක් නොවිය.
    
නිවසේ දුරකථනය නාද වෙනු ඇසී විපුල වහා ගොස් ඇමතුම ලබාගත්තේ තමාලි යයි සිතමිනි.

හෙලෝ....

විපුල දිසානායකද කතාකරන්නේ?

ඔව්...

නාරම්මල පොලිසියෙන් කතාකරන්නේ.ඔයාගේ වයිෆ් තමාලි අද හවස නාරම්මල ටවුන් එකේදී ඇක්සිඩන්ට් වෙලා...එයාගේ බෑග් එකත් පොලිසියේ තියෙනවා.ඇවිත් කටඋත්තරයක් දෙන්න...

තමාලි කොහෙද ඉන්නේ?

එයා කුරුණෑගල හොස්පිට්ල් එකට ඇතුල් කළා...

උන්හිටි තැන අමතක වු විපුල රෝහල වෙත ගියේ තමාලිට කරදරයක් නොවේවායි පතමිනි.රෝහලෙන් දැනගත හැකි වුයේ තමාලි හදිසි සැත්කමක් සඳහා ගත් බවයි.ඔහු ඇය බැලීමට උත්සාහ කලද එයට අවසර නොලැබුණි.විපුලට ලෝකයම තමා පාමුල කඩා වැටෙනවා වැනි හැඟීමක් දැනුණි.අසල වු බැංකුවක වාඩි වු විපුල හඬාවැටෙන්නට විය.තමා විසින් තමාලිගේ හිත රිදවූ අයුරු මතක් වී තමාටම දොස් නගා ගත්තේය.

තමාලිගේ හස්බන්ඩ් ඔයාද?

හෙද නිලධාරිනියගේ ඇමතුමෙන් වහා නැගී සිටි විපුල වහා ඔව් යයි පැවසිය.

ඔයාට ඩොක්ටර් එන්න කිව්වා...අතන තියෙන රූම් එකට යන්න...යි අත දිගුකර එය පෙන්වා සිටියේය.
විපුල වහා වෛද්‍යවරයා වෙත ගියේය.

තමාලිට කොහොමද ඩොක්ටර්? අනේ එයාව සනීප කරල දෙන්න....විපුල හඬමින් පැවසිය.

සොරි මිස්ටර්....අපි පුළුවන් තරම් උත්සහ කළා...එයාව හොස්පිටල් එකට ගේනකොට ගොඩක් පරක්කු වෙලා.ඒ නිසා ලේ ගොඩක් ගිහින්...ටිකක් කලින් එක්ක ආවනම් බේරගන්න තිබුණා....
     
විපුලට කුමක් කල යුතුදැයි පවා කල්පනාවක් නොවිය.තමා මගහැර ආවේ ලේ විලක් මැද සිට තමාගෙන් ජීවිතය යැද්ද තම බිරිඳම නේදැයි සිහිවී පපුව පැලෙන්නට මෙන් වේදනා දෙන්නට විය.මේ සියල්ලේ වරදකරු තමා යන හැඟීම විපුලට වද දෙන්නට විය.සිය දහස් වාරයක් පසුතැවුනේය.නමුත් දැන් කරන්නට කිසිවක් ඉතිරි වී නොමැත.

තමාලිගේ පාංශුකූලය දෙන විට විපුලට මතක් වුයේ ගාථාවක කොටසකි.

අප්පමාදෝ අමතපදං -පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්ථා නමියන්ති -යේ පමත්ථා යථා මතා.

ප්‍රමාදය සිදුවී හමාරය.එමෙන්ම එය ජීවිත කාලයටම පසුතැවිල්ලක් ද එකතු කර හමාරය.