Saturday, July 16, 2016

මැදපෙරදිග සංස්කෘතිය

මැද පෙරදිග රටවල පවතින සංස්කෘතික ලක්ෂණ.











                     මැද පෙරදිග රටවල සංස්කෘතික ලක්ෂණ පිළිබඳව අධ්‍යනය කිරීමේදී අනෙක් රටවලට වඩා විශේෂිත වූ ලක්ෂණ රාශියක් දැකගත හැකිය. ආසියානු කලාපයට අයත් අරාබි රටවල් මැද පෙරදිග රටවල් ලෙස හඳුන්වයි. පෙරදිග කලාපයේ රටවල් ලෙස මොරොක්කෝව , පලස්තීනය , කටාර් , ඩුබායි , ඉරාකය , ඕමාන් , ජෝර්දානය , ඊජිප්තුව , කුවේටය , බහරේන් , සිරියාව , ලෙබනනය යනාදී වශයෙන් රටවල් විශාල සංඛ්‍යාවක් හඳුනා ගත හැකිය. ලොව පළමු ශිෂ්ඨාචාර මේ ආශ්‍රිතව නිර්මාණය වූ අතර එය මෙසපොතේමියාව නමින් හඳුන්වනු ලැබේ. මෙසපොතෙමියාවද උතුරු හා දකුණු ලෙස කොටස් දෙකකි. උතුරු මෙසපොතේමියාව හසුනා , සමාරා , හලාෆ් යනුවෙන් සංස්කෘතික අවධි තුනකි. මේ සංස්කෘතීන් කෘෂිකර්මාන්තය ජීවනෝපාය කර ගත්හ. තඹ භාවිතා කිරීම , මැටි බඳුන් නිර්මාණය , මේ සංස්කෘතීන් තුලින් ආරම්භ විය. දකුණු මේසපොතෙමියාවේ අල් උබයිඩ් , උරුක් , ජෙමිදෙත් නසාර් නමින් සංස්කෘතීන් තුනකි. මැටි ගඩොල් මුලින්ම බාවිතා කර ඇත්තේ අල් උබයිඩ් සංස්කෘතියයි. වාරිකර්මාන්ත ඉදිකිරිම , නඩත්තුව සිදුකර තිබේ. දකුණු මෙසපොතේමියාවේ සමාජ , දේශපාලනික , ආර්ථික , ආගමික හා සංස්කෘතික යන සෑම අංශයකම කේන්ද්‍රය ලෙස ආගමික පුජ්‍ය ස්ථාන වර්ධනය වී තිබේ. රෝදය , නගුල , සකපෝරුව වැනි බොහෝ වැදගත දේවල් උරුක් සංස්කෘතියෙන් හඳුන්වා දෙනු ලැබිය. ජෙමිදෙත් නසාර් සංස්කෘතිය තුල වාස්තු විද්‍යාව දියුණුවීම දක්නට ලැබේ. හොදම නගර නිර්මාණය හා පළමු සංස්කෘතික දියුණුව මේ කාලයේ ඇතිවිය. අක්ෂර නිර්මාණය වීම , ජෝතිෂ්‍ය ඇතිවීම , සංගීතය , ලෝහ තාක්ෂණය තුලින් පැහැදිලි සංස්කෘතික ලක්ෂණ ප්‍රකට කෙරේ. උද්‍යාන , කුඹුරු , ඇළමාර්ග , වරාය ආදිය නිර්මාණය කර තිබේ. රත්‍රන් ආභරණ භාවිතා කර තිබේ. මුල් කාලයේ පෙරදිග රටවල සිදු වූ සංස්කෘතික වෙනස් වීම් ක්‍රමක්‍රමයෙන් සමාජ දියුණුවත් සමග වර්ධනය විය. වර්තමානය තුල කතාබහට ලක්වන වාස්තු විද්‍යාව , කෘෂිකර්මාන්තය , ජෝතිෂ්‍ය යනාදී කරුණු මිට ඉතාමත් ඈත යුගයකදී භාවිතයට ගත් ඒවා බව එම රටවල් අධ්‍යනයේදී පැහැදිලි වේ. වර්තමානය වන විට යුරෝපා ආක්‍රමණ පෙරදිග රටවලට වැඩි බලපෑමක් එල්ල කල බව මෙන්ම එල්ල කරමින් පවතින බවද ඉතා පැහැදිලි කරුණකි. අරාබිකරයට අයත් මැදපෙරදිග රටවල් ආගමත් සමග දැඩි ලෙස බැඳීම හේතුකරගෙන අනෙක් පෙරදිග රටවලට මෙන් බලපෑමක් එල්ල කිරීමට යුරෝපීන්ට නොහැකි වුවද යම් තරමක වුව බලපෑමක් අරාබි රටවලට එල්ල වී තිබේ. ගෝලීයකරණය හා නව්‍යකරණයත් සමග අරාබි රටවල් වල ආගමික සබඳතාවය තිබුනත් යුරෝපියකරණයෙන් බැහැර වීමට නොහැකිවී ඇත. මෙයට හොඳම උදාහරණය වන්නේ කාන්තාවන්ගේ කළු ලෝගුව වෙනුවට ඩෙනිම් කලිසම ආදේශ වී තිබීමයි. 

                  යුරෝපියන් හා මුස්ලිම්වරුන් අතර ඇතිවූ පළමු යුද්ධය කුරුස යුද්ධයයි. අරාබි ජාතික මුස්ලිම්වරුන් ජෙරුසලම අල්ල ගැනීමත් සමග ක්‍රිස්තියානුවන්ගේ වන්දනා ගමන් වලට හිරිහැරයක් විය. මුස්ලිම්වරු දකුණු පෘතුගාලය යටත්කරගෙන පාලනය කළහ. තුන්වන අපොන්සු රජු මුස්ලිම්වරුන්ගෙන් රට බේරා ගන්නා ලදී. පෘතුගාලය හා ස්පාඤ්ඤය කතෝලික ආගම වැළඳ ගෙන සිටි රටවල් වූ අතර මුස්ලිම්වරුන් නැවත එය යටත් කරගෙන මුස්ලිම් ආගම පතුරුවන ලදී. අරාබි ජාතිකයන් විසින් ඊජිප්තුව යටත් කරගන්නා ලදී. ඉන් පසු ඊජිප්තුවද මුස්ලිම් රටක් බවට පරිවර්තනය විය. මෙම කුරුස යුද්ධයේ තවත් අරමුණක් වුයේ ක්‍රිස්තියානි ආගම පැතිරවීම හා රටවල් අල්ලා ගැනීමයි. නමුත් කුරුස යුද්ධයෙන් යුරෝපය පරාජයට පත් විය. නමුත් කුරුස යුද්ධය නිසා එම රටවල් අතර වෙළඳාම ආරම්භ විය. 

                      මුස්ලිම් ජාතිකයන් කුළුබඩු , සුවඳ විලවුන් , හා ආලේපන වර්ග බටහිර ඉන්දියාවෙන් ගෙනවිත් මිසරය , පලස්තීනය වැනි රටවලට වෙළඳාම පිණිස යවා තිබේ. පෙරදිග මුහුදු මාර්ගය කොරමැන්ඩල් වෙරල , ලංකාව හා ඉන්දියන් සාගරයේ නැගෙනහිර සීමාව දක්වා පැවතුනි. ඉශ්‍රායලයේත් , රෝමයේත් , සාසනියන් රාජ්‍යයේත් නැගීම නිසා අරාබි වරුන්ගේ මුහුදු බලය මෙන්ම වෙළඳාම පිරිහී ගියේය. ඉස්ලාම් ධර්මයේ පැතිරීමත් සමග අරාබීන්ට නැවත වරක් වෙළඳ කටයුතු අරබන්නට හැකිවිය. එවර ඔවුන්ගේ වෙළඳ ආධිපත්‍ය ඉහත දැක්වූ කුරුස යුද්ධයේ ආරම්භය දක්වාම පැවතුනි. 16 වන සියවසේ සිට පෙරදිග වෙළඳාම යුරෝපීන් අතට පත්වීමත් සමග අරාබිවරුන්ගේ විදේශීය වෙළඳාම මුළුමනින්ම ඇනහිටියේය.

              මැද පෙරදිග රටවල පවතින සංස්කෘතිකමය ලක්ෂණ එය කෑම බීම , ඇදුම් පැළඳුම්, ආගම , ගෘහනිර්මාණ ශිල්පය , මංගල අවමංගල චාරිත්‍ර යනාදී වශයෙන් කොටස් ගණනාවකට බෙදීය හැකිය.

               මැද පෙරදිග කලාපය ඒකදේවවාදී රටවල් සමුහයකින් නිර්මාණය වුවකි. ඔවුන්ගේ දෙවියන් වන්නේ 'අල්ලාහ් ' දෙවියන්ය. ඔවුන් තම ආගමික ග්‍රන්ථය වන කුරානයේ එන අල්ලාහ් දෙවියන් ගේ ඉගැන්වීම් වලට අනුව ජිවත් වේ. ආගමත් සමග ඔවුන් ඉතා දැඩි සම්බන්ධතාවක් පවත්වන අතර ඔවුන්ගේ සංස්කෘතිය මුළුමනින්ම නිර්මාණය වී තිබෙන්නේ ආගමික ඉගැන්වීම් වලට අනුව වේ.

            අරාබි රටවල් කෘෂිකර්මාන්තයේ නියැලෙයි. රටින් රටට ආහාර වර්ගවල වෙනස්කම් දක්නට ලැබේ. අරාබියේ පොහොසත් ගෝත්‍ර වලට අයත් අරාබිවරුන්ගේ ප්‍රධාන ආහාරය තරුණ ඔටුවන්ගේ හෝ එළු බැටළු ආදීන්ගේ මස් හා බත්ය. දුප්පත් ගෝත්‍ර වලට අයත් පුද්ගලයන්ට නිතරම මස් කෑමට නොමැති බැවින් රට ඉදි , ඔටු කිරි හා ඔටු කිරිවලින් සෑදු කේජු ආදිය ආහාරයට ගනී. එමෙන්ම එළවලු හා පලතුරු වර්ග ආදියෙන් පිළියෙළ වුනු කෑම වර්ග රාශියක් අනුභව කරයි. ඉරානය වැනි රටවල ප්‍රධාන ආහාරය තිරිගු , බාර්ලි හා බත් වේ. පලතුරු දෛනික  ආහාරයේ වැදගත් තැනක් ගනී. ඉස්ලාම් ආගම තුලින් මත්ද්‍රව්‍ය භාවිතය තහනම් කර තිබුනද ඉරානය තුල වයින් පෙරීම සිදු කරයි. රටින් රටට මුස්ලිම්වරුන්ගේ ආහාර වර්ග වෙනස් වේ. මිට හොදම උදාහරණය වන්නේ ශ්‍රී ලංකාවයි. ලාංකීය මුස්ලිම් ජනතාවගේ ආහාර රටාව ලාංකිකයන්ගේ ආහාර රටාව අනුව නිර්මාණය වී තිබේ. රටින් රටට ආහාර වල කුමන වෙනස් කම් තිබුනද ආගමික ඉගැන්වීම් වලට අනුව ආහාර සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙල සෑම රටකටම පොදුවේ. ආහාර ගැනීමේදී ආහාර දැමු තැටි භාවිත කරන අතර කිහිප දෙනෙකු එකතු වී බීම වාඩි වී ආහාර ගනු ලබයි. ඉතිරි නොකර සියලු ආහාර අනුභව කල යුතු අතර හැලෙන ආහාර එකතු කිරීම සඳහා තැටියට යටින් ලේන්සුවක් එලා ඒ මතට වැටෙන ආහාර පවා ආහාරයට ගනී. ආහාර ගැනීමට පෙර දෙවියන්ට ස්තුති කිරීම සිදුවේ. එමෙන්ම සියලුම දෙනා ආහාර ගැනීමේදී දකුණු අත පමණක් භාවිතා කල යුතුය. ඌරු මස් , ලේ , පීකුදු , මත්ද්‍රව්‍ය ආහාරයට නොගනී. ආහාර සඳහා සතුන් මැරීම සිදුකරන විට අල්ලාහ් දෙවියන්වෙ නුවෙන් අල්ලාහ් නම කියා සතුන් මැරීම සිදු කරනු ලැබිය යුතු වේ. තහනම් කර ඇති ආහාර ගැනීම පාපයක් සේ සලකනු ලබන අතර පමණට වඩා ආහාර ගැනීමද පාපයක් වේ. පුරුෂයින් කෑම කා අවසන් වූ පසු ඉතිරිවන ආහාර අනුභව කිරීම ස්ත්‍රීන්ගේ සිරිත වේ.

                මෙම ආහාර රටාව තවමත් අරාබි රටවල ක්‍රියාත්මක වේ. නමුත් අධික කාර්යබහුලත්වය මෙන්ම යුරෝපිය රටාවලට සංක්‍රමණය වූ මුස්ලිම් වරුන් අතරින් මෙය ගිලිහි යමින් පවතී. එමෙන්ම ඩුබායි වැනි සංචාරක රටවලද යම් තරමකට මේ තත්වය වෙනස්ව යමින් පවතී. විශේෂයෙන් දැඩි ආගමික බැඳීම් නොමැති රටවල යුරෝපිය ආහාර රටාවකට ඔවුන් හුරුවී සිටියි.

              මැද පෙරදිග රටවල ඇඳුම් පැළඳුම් වලද විශේෂ වෙනස්කම් දැකිය හැකිය.  අරාබියේ කාන්තාවන්ගේ ඇඳුම කළු ලෝගුවයි. එය මුළු සිරුරම වැසෙන පරිදි  අඳිනු ලබන අතර මුහුණ වැසීම සඳහා ද ආවරණයක් භාවිතා කරයි. නගරබද අරාබි ස්ත්‍රීන් මෙය භාවිතා කරන නමුත් කඳුකරයේ වෙසෙන ගෝත්‍රික ස්ත්‍රීන් මේ මුහුණු වැස්ම භාවිතා නොකරයි. හිස්වැස්ම සඳහා භාවිතා කරන සලුවෙහි දෙකෙළවර උරහිසද ඉක්මවා  පහතට වැටෙන සේ පළඳියි. මෙය කුමන රටක කුමන පරිසරයක සිටින කාන්තාවක් වුවද සිදුකරයි. පිරිමින්ගේ ඇඳුම සුදු ලිහිල් ලෝගුවකි. නමුත් නගරබද අරාබිවරු යුරෝපිය ඇඳුම් අඳිනු දැකගත හැකිය. බොහෝ දෙනෙකු යුරෝපිය ඇඳුමේ සමහර අංගයන් හා ස්වදේශික ඇඳුමේ  සමහර අංගයන්ද  එක්කොට ගෙන නිර්මාණය කරගත් ඇඳුමක් අඳිති. එමෙන්ම යුරෝපයට සංක්‍රමණය වූ මුස්ලිම්වරුන්ගේ හා ජාතින් කිහිපයක් වාසය කරන  එනම් ශ්‍රී ලංකාව වැනි රටවල ජිවත් වන මුස්ලිම් ජනතාව බොහෝවිට සාම්ප්‍රදායික ඇඳුමෙන් ඈත් වී යුරෝපිය ක්‍රමයට ඇඳුම් අඳිනු දක්නට ලැබේ. මුල් කාලයේ සරම හා බැනියමද , පසුව සරම හා කමිසයද ඊටත් පසුව කලිසම හා කමිසයද භාවිතයට පැමිණියහ. කාන්තාවගේ ලෝගුවද , සල්වාර් , සාරිය මෙන්ම වර්තමානයේ ඩෙනිම් කලිසම දක්වා වෙනස් වී තිබේ. විශේෂයෙන් තරුණ පිරිස් මේ විලාසිතා සඳහා යොමුවනවා දැකගත හැකිය. අරාබි රටවල කාන්තාවන් කළු ඇඳුම භාවිතා කලද මුස්ලිම් ජාතිකයන් ජිවත් වන අනෙක් රටවලට අනුව ඔවුන්ගේ ඇඳුම වෙනස් වී තිබේ. මිට හොඳම උදාහරණයක් ලෙස ලංකාව මෙන්ම පකිස්තානය වැනි රටවල කාන්තාවන් සාරිය ඇඳීම පෙන්වා දීය හැකිය. ඔවුන් හිස වසාගැනීම සඳහාත් සාරිය  භාවිතා කරයි. ඇතැම් විට මේ ආභාෂය එන්නට ඇත්තේ ඉන්දියාවේ බලපෑම මතයි. එමෙන්ම මේ රටවල තරුණ කාන්තා පරපුර ඩෙනිම් කලිසම අඳින ආකාරයද දැකගත හැකිය. මිට අමතරව යුරෝපිය රටවලට සංක්‍රමණය වී ඇති මුස්ලිම්වරුන් හා ඩුබායි වැනි රටවල කාන්තාවන්ගේ ඇඳුම වෙනස් වී තිබේ. ඔවුන් ඩෙනිම සහ ටී ෂර්ට් භාවිතා කරන අය අතර නවීන මෝස්‌තර විලාසිතා වලට අනුව හිස් වැස්ම පළඳියි. එමෙන්ම මුහුණු ආවරණයද වෙනස් වී තිබේ. මේ වන විට මුහුණු ආවරණය භාවිතා කරන පිරිස මෙම රටවල ඉතා අඩු වේ. නමුත් මුස්ලිම් රටවල තවමත් මෙය දැකගත හැකිය. යුරෝපිය ආභරණ පැළඳීම ද කාන්තාවන් අතර දක්නට ලැබේ. දැඩි ආගමික බලපෑමක් සහිත රටවල මෙම විලාසිතා භාවිතයක් නොමැත. විලාසිතා කෙරෙහි ආගමික බලපෑම් එල්ල වුවද බටහිරකරණය තුලින්  එම සීමාවන් බිඳී යන අයුරු දැකගත හැකිය.

                   සමස්තයක් වශයෙන් අරාබින්ගේ ජිවන රටාවන් අධ්‍යනය කිරීමේදී ඔවුන්ගේ කලාපයට විශේෂිත වූ ලක්ෂණ හඳුනාගත හැකිය. අරාබියේ හා උතුරු අප්‍රිකාවේ අරාබිවරු බහුල වශයෙන් ජිවත් වේ. ඔවුන්ගේ ගති පැවතුම් හා සිරිත් විරිත් ඔවුන් ජිවත් වන ප්‍රදේශ වලට අනුව හැඩ ගැසී ඇත. අරාබිවරුන් කාන්තාරබදව ජිවත් වන්නන් හා නගරබදව ජිවත් වන්නන් ලෙස කොටස් දෙකකි. කාන්තාරයේ වෙසෙන අරාබින් ස්ථිර පදිංචියක් නැති සංචාරකයින් ලෙස සැලකේ. මොවුන් බෙඩුවින් ගණයට අයත් වේ. අනෙක් ජාතින් හා මිශ්‍ර වී ඇත්තේ ඉතාම අඩු වශයෙනි. මොවුන් අවුරුදු දහස් ගණනකට පෙර ගතකල ජීවිතයත් දැන් ගත කරන ජීවිතයත් අතර වෙනසක් දක්නට නොලැබේ. මොවුන් ගෝත්‍ර වශයෙන් ජිවත් වන අතර 'ශික්' නමින් ගෝත්‍ර නායකයා හඳුන්වයි. ප්‍රධාන ජිවනෝපාය ඔටුවන් ඇති කිරීමයි. එළුවන් බැටළුවන් වැනි සතුන්ද ඇති කරයි. මේ අතර අශ්වයින් අයිති අරාබි ගෝත්‍රිකයෝ ද සිටියි. සතුන් වෙනුවෙන් තැනි බිම් සොයාගෙන තැනින් තැනට යන අතර තැනි බිමක් හමුවූ විගස එහි කුඩාරම් ගසා ගනියි. කුඩාරම් වල එක් කොටසක් කාන්තාවන් සඳහා වෙන්කර ඇත. ජලය හිග බැවින් කලාතුරකින් ස්නානය කරන අතර වැල්ලෙන් ඇඟ පිරිසිදු කර ගනියි. කටුක ජිවිතයක් ගත කලද ස්වභාවයෙන්ම හොඳ සෞඛ්‍ය තත්වයෙන් යුක්තවේ. හොඳට හැඳුනු අංග පසඟින් යුක්ත වේ. අධ්‍යාපනය ගත විට අධිපති පවුල්වල හා  පොහොසත් සංචාරි ගෝත්‍රිකයෝ සමහර විට තරමක අධ්‍යාපනයක් ලැබුවෝ වෙති. ඔවුන් තම භාෂාවට දැඩි ආදරයක් දක්වයි. අධ්‍යාපනය ගැනද සැලකිල්ලක් දක්වයි. නමුත් දුප්පත් අරාබි වරුන්ගේ තත්වය මිට හාත්පසින්ම වෙනස් වේ. ඔවුන්ට ස්වල්ප අධ්‍යාපනයක් පවා ලැබී නැත. නගරබදව ජිවත්වන අරාබිවරු වැඩි වශයෙන් වෙළෙන්දෝද , කාර්මිකයෝද වෙති. ක්‍රිස්තියානි ආගම වැළඳගත් කිහිප දෙනෙකුට අමතරව මුළු අරාබි වර්ගයාම ඉස්ලාම් භක්තිකයෝ වෙති. මේ වන විට ඉස්ලාම් ආගම නිකායන් රාශියකට බෙදී ඇති අතර හැම නිකායකටම අයත් අරාබිවරු ජිවත් වේ. මෙහි ප්‍රධාන නිකායන් දෙකක් වන්නේ සුන්නි හා ශියා ය. මේ නිකායන් දෙක වෙන්වී තිබෙන්නේ දේශපාලනය මතයි. එහිදී ෂියා මුස්ලිම් වරුන්ගේ මතය වන්නේ පාලකයා  තෝරා ගැනීමේදී පියාගෙන් පුතාට පාලනය උරුම විය යුතු බවයි. සුන්නි මුස්ලිම් වරුන්ගේ මතය වන්නේ පාලකයා තෝරා ගැනීමේදී ප්‍රජාතන්ත්‍රවාදය භාවිතා කල යුතු බවයි. ඉරානය ෂියා මුස්ලිම් පාලනයක් සහිත රටක් වේ. මෙලෙස පාලකයා තෝරාගැනීමේදී ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරුණු මුස්ලිම් රටවල භාවිතයට පැමිණෙන්නේ යුරෝපිය ආභාෂය මතයි.

                  මහම්මත්තුමා ඉපදෙන්නට වර්ෂ ගණනකට පෙර සිටම නිරිත දිග දැනට යේමනයේ අරාබි සභ්‍යත්වයක් තිබු බව පෙනේ. ජොබ් නමැති යුදෙව් ජාතිකයා නාවික කටයුතු , ධිවර කර්මාන්තය හා වෙළඳාම සම්බන්ධව අරාබි වරුන්ගේ දක්ෂතාව ගැන සිය කෘතියක සඳහන් කර තිබේ. ඔවුන් එකල තාරකා ශාස්ත්‍රය පිලිබඳව දැන සිටි බව  ද කියවේ. එමෙන්ම මුස්ලිම් ආගම තුල පිළිම වන්දනාව අනුමත නොකරයි. නමුත් ඇතැම් පැරණි මස්ජිද වල මියගිය අයගේ සොහොන් වලට වන්දනා කිරීම සිදු කරයි. මෙවැනි ලක්ෂණ මුස්ලිම් සංස්කෘතියට වෙනත් රටවලින් ඇතුළු වූ ඒවා ලෙස සැලකේ.


                        අරාබි ජාතීන්ගේ විවාහ චාරිත්‍රද අනෙක් ඒවාට වඩා වෙනස් වේ. විවාහය සුදුසුකම් ලත් පාර්ශව දෙකක් අතර සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපිටදී සිදුකරයි. ගිවිසගත් ආකාරයට මනාලයා විසින් මනාලියට මංගල තෑගි පිරිනැමිය යුතුය. මුස්ලිම් ජනතාව අතර ඇති විශේෂ ලක්ෂණයක් ලෙස මනාලිය විවාහ කරගැනීම සඳහා මනාලියට මුදල් හෝ ඉහත කී මංගල තෑගි ලබා දීම අනිවාර්යවේ. මනාලිය විසින් තමාට අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයට ඉල්ලා සිටිය යුතු අතර විවාහ වීමට පෙර මනාලයා විසින් ඒවා ලබා දීම අනිවාර්ය කාරනාවක් වේ. මෙය මුස්ලිම් සංස්කෘතිය තුල පමණක් දක්නට ලැබෙන්නකි. අරාබි රටවල අවුරුදු 12 ක දැරියක් විවාහ කර ගැනීමේ හැකියාව ඇත. නමුත් මෙය රටින් රටට වෙනස් වේ. කුරානයේ දක්වා ඇති පරිදි මුස්ලිම් පුරුෂයෙකුට ස්ත්‍රීන් හත් දෙනෙකු (07) විවාහ කර ගැනීමේ හැකියාව ඇත. එහිදී සියලුම කාන්තාවන්ට එක ලෙස සැලකීමට හැකි වත්කමක් පුරුෂයාට තිබිය යුතු අතර පළමු බිරිඳගේ කැමැත්තද අවශ්‍ය වේ. එමෙන්ම 'තලාක්' යන වචනය තුන් වරක් පැවසීමෙන් පසුව විවාහය අවලංගු කිරීමේ හැකියාව පවතී. නමුත් මෙලෙස විවාහය අවලංගු කිරීමේ හැකියාව මුස්ලිම් වරුන් හා අනෙක් ජාතින් ජිවත් වන රටවල් තුල නීතියෙන් සිදුකල යුතු වේ. උදාහරණ ලෙස ලංකාවේ ජිවත් වන මුස්ලිම්වරුන්ට ලංකාව තුල තිබෙන විවාහ නීතියට අනුව විවාහ වීමට සිදුවේ. පවුල තුල ගෘහ මුලිකත්වය පුරුෂයාට හිමිවේ. ඔහු පවුලේ සාමාජිකයන්ගේ අවශ්‍යතා ඉටුකර දීමට බැඳී සිටියි. දායාද බෙදීමේදී වැඩි කොටසක් ආසන්නතම පවුලට ලැබෙන අතර ඉතිරිය ණය පියවීමටත් අවසාන කැමැත්ත ඉටුකිරීමටත් වෙන් කෙරේ. ආගමානුකුලව උපවාස කාලයක් ඇති අතර එම කාලය තුල උදේ සිට සවස් වන තුරුම කෑම බීම නොගත යුතුය. වෙළඳාමේ දී පොලි අයකිරීම ද ආගම තුලින් තහනම් කර තිබේ.

                    ඉස්ලාම් ආගමිකයන් තුල කුල භේදය පිළිබඳව වැඩි කතා බහක් ඇති බව දක්නට නොතිබුණද පාකිස්තානය තුල ඉතා දරුණු ලෙස කුලවාදය ක්‍රියාත්මක වේ. එය කොතරම් දරුණුද යත් කුල හීනයන් බලුකිස්තානය නමින් වෙනම රාජ්‍යක් ඉල්ලා අරගල කරන්නට විය. පකිස්තානය තුල පුශ්තුන් හා පඨාන් ලෙස කුල වර්ග දෙකකි. ඊට අමතරව අහමදියියා සහ මොජාහිර් වශයෙන් ඉස්ලාම් ධර්මයේ න්‍යායික පිළිපැදීම් මත බෙදී ඇත. කුලය සම්බන්දයෙන් ආගමික පදනමක් නොමැති අතර පරම්පරාවෙන් පැවත එයි. පහත්ම කුලය අර්සාල් ලෙස සලකන අතර ඔවුන්ට අවම වරප්‍රසාද හිමිවේ. ඔවුන් අශුද්ධ යැයි සලකනු ලබයි. මොවුන්ට මුස්ලිම් දේවස්ථාන වලට ඇතුල්විය නොහැකි අතර මිය ගිය පසු මුස්ලිම් සුසානභුමි වල භූමදානය කිරීමට පවා ඉඩ නොලැබේ. බෙන්ගාල ප්‍රාන්තයේ උපත මත තීරණය වූ වෘත්තිය රටාවක් පදනම් කරගෙන කුවොම්ස් නමින් කුල වලට බෙදී සිටියි. මේ කුළ ක්‍රමයේ වඩාත් දරුණුම තත්වය වන්නේ අඩුකුල කාන්තාවන් සමුහ ලෙස දුෂණය කිරීමේ අයිතිය උසස් කුලවල පිරිමින්ට තිබීමයි. මේ සඳහා පාකිස්තානය තුල නීතියක් හෝ නොමැත. මෙම කුල සම්ප්‍රදාය පකිස්තානයට එන්නට ඇත්තේ ඉන්දියාව තුලිනි. පකිස්තානය තුල මුස්ලිම් ආගම වැළඳගෙන ඇත්තේ ඉන්දියාවේ හින්දු ආගමිකයන්ය. මේ නිසා හින්දු ආගම තුල ක්‍රියාත්මක වන කුල වාදය මුස්ලිම් සංස්කෘතියටද ඇතුල් වන්නට ඇත්තේ මේ තුලිනි. ඉන්දියාවේ අඩු කුලවල පුද්ගලයන්ට දක්වන සැලකිල්ල පාකිස්තානයේද අඩු කුල ජනතාවට දක්වන ආකාරය දැකගත හැකිය. පකිස්තානය හැර මුස්ලිම් වරු ජිවත් වන අනෙක් රටවල මේ තත්වය දැකගත නොහැකිය. මුස්ලිම් ආගම තුල සියලුම දෙනා එක ලෙස සලකනු ලබයි.

                  ඉස්ලාම් ගෘහ නිර්මාණ ශිල්පයේද විශේෂ ලක්ෂණ කිහිපයක් හඳුනා ගත හැකිය. අරාබියේ මුල් ඉස්ලාම් භක්තිකයන් සංචාරක ජිවිතයක් ගතකල බැවින් ගෘහ නිර්මාණ ශිල්පය නොදත්තේය. තමන් යටත් කොටගත් රටවල පැවති නගර , ගොඩනැගිලි ආදිය ඔවුන් තම ප්‍රයෝජනයට ගත්හ. අන්‍යන්ගේ දේවස්ථාන ඉස්ලාම් භක්තිකයන්ගේ මස්ජිද බවට පත්විය. පසුව ගොඩනැගිලි ඉදි කිරීමේදී තමන් යටත් කොටගත් රටවල බයිසන්තින හා යාවනික ගෘහනිර්මාණ ශිල්ප සම්ප්‍රදායන් ගුරුකොට ගත්හ. ගොඩනැගිලි ඉදි කිරීම සඳහා අදාළ රටවල ශිල්පින් යොදා ගත්හ. ගොඩනැගිලි ආගමික හා ලෞකික ලෙස කොටස් දෙකකින් යුක්ත වේ. ආගමික ගෘහ නිර්මාණ ගණයට වැටෙන මස්ජිද තුල දක්නට ලැබෙන්නේ වෙනම ගෘහනිර්මාණ ලක්ෂණයන්ය. විශාල සෘජුකෝණාශ්‍ර මැද මිදුලක් වටා තැනුණු පිල් වලින් සෑදුනකි. කිබ්ලා නමින් මක්කම පිහිටි දිශාව නම් කර ඇති අතර වන්දනා කරනු ලබන්නේද එම දිශාවට වේ. එය අර්ධගෝලාකාර පියස්සකින් වටවී තිබේ. මැද මිදුලෙහි මිදා නමින් හැඳින්වෙන පොකුණක් නිර්මාණය කරයි. ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්පයේ මුල් යුගයේ මස්ජිද වල මැද මිදුලේ පිල් දක්නට නොලැබුණි. ඒවා පසුව ආදේශ වූ ඒවාය. සොහොන් ගෙවල් නිර්මානය  කිරීමේදී තනි සොහොන් ගැබකින් යුක්ත වන ලෙස නිර්මාණය කරයි. වැදගත් සොහොන් ගෙවල් වලට යාව මස්ජිදයක්ද නිර්මාණය කරයි. කුබ්බත් අස්-සුලේබිය නම් සොහොන් ගෙයද , සමානිද් ඉස්මයිල්ගේ සොහොන් ගෙයද ඉස්ලාම් ගෘහනිර්මාණයේ මුල් යුගයට අයත් වැදගත් නිර්මාණ වේ. ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්පයේ මෑත බාගයට අයත් විශිෂ්ට සොහොන් ගෙවල් දෙකක් ලෙස අක්බාර් රාජයාගේ සොහොන හා තාජ්මහල් හැඳින්විය හැකිය. නගරවල වාසයට වඩා කාන්තාරයේ වාසය ප්‍රියකළ උමයියද් වංශිකයන්ගේ මාලිගා කිහිපයක නටබුන් පවති. රෝම බලකොටුවලට නෑකම් කියන මේවා විශාල මැද මිදුලක් වටා තැනුණු නිවාසයන්ගෙන්ද  ඇතුළු සහිත පවුරකින්ද යුක්තවේ. මොවුන්ගේ මාලිගාවල සැලැස්ම සංකීර්ණ නමුදු අඛ්ඛසිඩ් කාලිප්වරුන්ගේ මාලිගා විසිතුරු විය. එයට හේතුව වුයේ පර්සියාවේ පවතී රාජ්‍යත්වය පිලිබඳ අදහස්වල ආභාෂය ලැබීමයි. ඉස්ලාම් ගෘහනිර්මාණ සම්ප්‍රදායෙහි කැපී පෙනෙන අංග කිහිපයක් වෙයි. එකක්නම් ආරුක්කුවයි.නොයෙක් හැඩයෙන් යුතු ආරුක්කු බහුල වශයෙන් ගොඩනැගිලි වලට යොදා තිබේ. අර්ධ ගෝලාකාර පියස්සක්ද දක්නට ලැබේ. ගොඩනැගිලි අලංකරණයේදී ඔවුන්ටම ආවේනික ක්‍රම භාවිතා කර තිබේ. මේ සඳහා ඇරබෙක්ස් නම් වූ මෝස්‌තර රටාද  පිගන් ගඩොල්ද ඉස්ලාම් ගෘහනිර්මාන ශිල්පින් විසින් භාවිතා කරන ලදී. එමෙන්ම දීප්තිමත් වර්ණ භාවිතා කර තිබේ. දොරටු නිර්මාණයද විශේෂ තැනක් ගනියි. ගොඩනැගිල්ලකට පිවිසෙන දොර මිනිසෙකුට යා හැකි තරම් උසින් හා පළලින් වීම ප්‍රමාණවත් සේ සැලකුහ. නමුත් විශාල මන්දිර වලට මෙය නොගැලපෙන නිසා දොරවල් කිහිපයක් දමා ද්වාර මණ්ඩපයක් සෑදීම සිදුකරන ලදී. සිරියාව , පර්සියාව , මිසරය , තුර්කිය , ස්පාඤ්ඤය හා ඉන්දියාවේ ඉස්ලාම් ගෘහනිර්මාණ දේශීය ලක්ෂණයන් හා එම රටවල ලක්ෂණයන් සමග සම්මිශ්‍රණයෙන් විකාශනය විය. ඉස්ලාම් ගෘහ නිර්මාණ ශිල්පය මල්පල දැරුවේ ඉන්දියාවේදීය. ඊට හේතු වුයේ මෙම සම්ප්‍රදාය ඉන්දියාවට පැමිණියේ ශතවර්ෂ පහක කාලයක් තුල වෙකත් රටවල දියුණු සම්ප්‍රදායන්ගෙන් පෝෂිතව පරිනත වීමෙන් පසුවය. අනෙක් අතින් එය ඉන්දියාවේ දී හැඩ ගැසුනේ ශ්‍රේෂ්ඨ ගෘහනිර්මාණ සම්ප්‍රදායට අයත් ශිල්පින් අතිනි. ඉන්දියාවේ වැඩුණු ගෘහනිර්මාණ ශිල්පයේ ශෛලින් තුනක් වේ.
1. දිල්ලි රාජ්‍යට අයත් ශෛලිය
2. ප්‍රදේශික ශෛලිය
3. මෝගල් අවදියට අයත් ශෛලිය

                මේ කාලයේ නිර්මාණය වූ මස්ජිද වල ඉස්ලාම් අලංකරණ මෝස්‌තර හින්දු ආභාෂයෙන් සකස්වී ඇති අයුරු පැහැදිලි වේ. ඊට හොඳම උදාහරණය කුතුබ්-උල්-ඉස්ලාම් මස්ජිදය , ජමි මස්ජිදය තුලින් දක්නට ලැබේ. මේ යුගයේ පාරාසික හා බයිසන්තින ලක්ෂණ හින්දු ශිල්පින් අතින් සැලකිය යුතු ප්‍රමාණයකට මැකී ගියේය. තජ්මහල් , අක්බාර් විසින් පතේපුර් සික්රි හි තනවන ලද නව නගරය ඉන්දියානු හා ඉස්ලාම් සම්ප්‍රධායන් දෙක මිශ්‍ර වී නිර්මාණය වූ ඒවාය. ස්පාඤ්ඤය , මිසරය හා සිරියාව ඉස්ලාම් ගෘහ නිර්මාණ සම්ප්‍රධායේ ආභාෂය බටහිර රටවලට විහිද වූ මධ්‍යස්ථාන විය. වර්තමානය වන විට ඉතා පොහොසත් අරාබිවරුන්ගේ සමහරෙක් මාලිගා වැනි ගෙවල් වල ජිවත් වේ. නවීන පහසුකන් ඇති ගෙවල් ඇත්තේ ඉතාම අඩු වශයෙනි. මේ අතර දුප්පතුන්ගේ පැල්පත් අතු ආදියෙන් සෙවිලි කර තිබේ.

              මුස්ලිම් ජාතිකයෙකු මියගිය විට ඔවුන් විසින් ඉටු කරන චාරිත්‍ර කිහිපයක් තිබේ. මියගිය පුද්ගලයා ණය වී ඇත්නම් එම ණය ඔහු ඉපයූ මුදලින් ගෙවා දැමිය යුතුය. එමෙන්ම මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් අනෙක් අය ඉටුකළ යුතු යුතුකම් 4ක් දක්වා තිබේ.

1. මිනිය නහවා පිරිසිදු කල යුතුය
2. සුදු රෙද්දකින් ශරීරය එතිය යුතුය
3. මියගිය පුද්ගලයා වෙනුවෙන් යාඥා කල යුතුය
4. වල දැමීම


               පැය 24 ක් තුල දේහය වල දැමීම සිදු කරයි. අදාළ පුද්ගලයාගේ නිවසේ මිනිය තැම්පත් කර තබා යාඥා කිරීම සඳහා පල්ලියට ගෙන යනු ලැබේ. සෑම කෙනෙක්ම මරණයට සහභාගී වීම වගකීමක් ලෙස නබිතුමා දක්වා ඇත. මරණ ගෙදරට දින තුනක් යනතුරු අසල්වාසීන් විසින් කෑම ලබා දීය යුතුය. මරණයෙන් පසු මියගිය අයට පිං අනුමෝදන් කිරීමක් ඉස්ලාම් ආගම තුල දක්නට නොලැබේ. නමුත් ලංකාවේ ඇතැම් ප්‍රදේශ වල බෞද්ධාගම තුලින් ලද ආභාෂයෙන් දානය පුජා කිරීමක් සිදුවේ.


3 comments:

  1. Api nodanna godak dewal me post eke thiyanawa..godak wadagath side ekak

    ReplyDelete
  2. Api nodanna godak dewal me post eke thiyanawa..godak wadagath side ekak

    ReplyDelete
    Replies
    1. muslim ratawal gana api godak welaawata danne anith ayagen ahagaththe dewal misak potha pathin kiyawala danagaththa dewal newei. anika e ratawal gana thiyana thorathuruth godak aduyi. me wisthara potha pathin hoyaa gaththa aththama ewa.

      Delete