Wednesday, August 24, 2016

ශ්‍රී පාදස්ථානය


ශ්‍රීපාදය





"මහනුවර නගරයට දකුණු දෙසින් සිංහලයන් කියන පරිදි ලංකාවේ උසම කන්ද පිහිටා ඇත. ඔවුන් එයට කියන්නේ හිමපොල යනුවෙනි. පෘතුගීසින් හා වෙනත් යුරෝපීන් එය ඇඩම්ස් පීක් ලෙස හඳුන්වයි. මෙම කන්ද මුදුනේ සමතලා ගල් තලාවකි. එහි මිනිසෙකුගේ පා සටහනක් වැනි ලාංජනයක් ඇත. නමුත් එය මිනිසෙකුගේ පා සටහනකට වඩා විශාල දිග අඩි දෙකක් පමණ සලකුණකි. සිංහලයන් විශ්වාස කරන්නේ බුදුන් වහන්සේ මෙහි වැඩි පළමු ගමනේදී ඒ උඩ පාදය තබා ඇති බවය. එහි අඩි 5 අගල් 3 3/4 දිග හා අඩි 2 අගල් 5 සිට 7 දක්වා වූ කුහරයකි. එය තඹ පත් වලින් වටකර අඩු වටිනාකමකින් යුත් මැණික් ගල් ඔබ්බවා ඇත. ගල්කණු හතරක සිටුවන ලද දම්වැලකින් බැඳ පාට රෙදි වලින් වහලයක් යොදා ඇත. "

ඉහත දක්වා ඇත්තේ ශ්‍රී පාදය පිළිබඳව රොබට් නොක්ස් විසින් ඉදිරිපත් කර ඇති විස්තරයෙන් කොටසකි. බෞද්ධ ආගමිකයන් අතර ගෞරව පුර්වක වන්දනාවට පාත්‍ර වූ ස්ථානයක් ලෙස සමන්ගිර හඳුන්වාදිය හැකිය. සමන්ත කුඨ , සමනල කන්ද , රත්නගිරි , ස්වර්ගරෝහනම් , සුමනගල යන නම්වලින් ශ්‍රී පාදස්ථානය හඳුන්වයි. පෘතුගීසි ජාතිකයන් 'පිකෝ ද ඇඩම්' ලෙසත් කතෝලික ආගමිකයන් 'ඇඩම්ස් පීක්'  ලෙසත් හින්දු ආගමිකයන් 'ශිවනඩිපාදනම්' ලෙසත් ඉස්ලාම් ආගමිකයන් 'බබා අදමලින්' ලෙසත් හඳුන්වා තිබේ. සමනල කන්ද ලෙස මෙයට නම ලැබී ඇත්තේ ශ්‍රීපාද වන්දනා සමය තුල සමනලුන් විශාල වශයෙන් මෙම රක්ෂිතය අවට දැකගත හැකිවීම නිසා බව කියවේ. සමන් දෙවියන්ගේ අඩවිය වන බැවින් සමන්ත කුඨ , සමන්ගිර යන නම්වලින් හඳුන්වයි. 

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කඳුකර ප්‍රදේශයේ සමනල කන්ද පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට උස අඩි 7360 කි. මෙහි මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර 22338කි. සමනල කඳු මුදුනට මාර්ග 6 කින් පමණ ලඟා විය හැකි  අතර නල්ලතන්නි හා පලාබද්දල මාර්ග ප්‍රසිද්ධ වේ. මිට අමතරව කුරුවිට-එරත්න , මුර්යාවත්ත , මුක්කුවත්ත හා මාලිම්බොඩ යන මාර්ග ද භාවිතා කල හැකිය.  ශ්‍රී පාදස්ථානය වන්දනාව සඳහා ජන වර්ග රාශියක් පැමිණීම දක්නට ලැබෙන විශේෂත්වයකි. බෞද්ධ ජනයා මෙම පුජනිය කන්දෙහි බුදුන් වහන්සේගේ සිරිපතුල සලකුණු කොට ඇති බව විශ්වාස කරයි. දමිල වැසියන් විශ්වාස කරන්නේ ශිව දෙවියන්ගේ පා සටහන සලකුණු කර ඇති බවයි. අනෙකුත් ජනයා විශ්වාස කරන්නේ ආදම් ලෝකයට පැමිණෙන විට ඔහුගේ පා සටහන කඳු මුදුනේ සලකුණු කොට ඇති බවයි.  මේ නිසා ප්‍රධාන ජාතින් හතරම එකට වන්දනා කරන එකම කන්ද ලෙස ශ්‍රී පාදස්ථානය හැඳින්විය හැකිය.

ශ්‍රීපාදය පිළිබඳව ඉතිහාස කතාව මෙසේය. දේව ගෝත්‍රික ජනතාවගේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය පාලකයා සුමන නම් විය. මේ පුද්ගලයා බුදුන් වහන්සේගෙන් බණ අසා සෝවාන් ඵලයට පත්වූ බව මහාවංශයේ සඳහන් වේ. සුමන මිය ගොස් දිව්‍යරාජයෙකු ලෙස උපන් අතර  බුදුන් වහන්සේ කැලණියට වැඩම කල අවස්ථාවේ වන්දනා මාන කිරීම සඳහා කේශධාතු මිටක් ඉල්ලා සිටි අතර එය තැම්පත් කොට සිළුමිණි සෑය තව්තිසා දෙව්ලොව ඉදිකර ඇත. සමන්ත කුඨයෙහි පාද ලාංජනය පිහිටුවන ලෙස  ද ඉල්ලා සිටියේය. ඒ ඉල්ලීමට අනුව බුදුන් වහන්සේ තම වම සිරිපතුල පිහිටුවාලූ බව වංශකතාවල හා ජනප්‍රවාදයේ දැක්වේ. 


උඳුවප් පොහොයෙන් ඇරඹෙන ශ්‍රීපාද වන්දනා සමය අවසන් වන්නේ වෙසක් පොහෝ දිනයි. අනෙක් මාස වල දී අධික වැසි , තද සුළං හා ඝන මිදුම් පවතින බැවින් නැගීම අපහසුය. නමුත් අවාරයේද ශ්‍රීපාදය වන්දනා කරන පිරිස් දැකගත හැකිය. ශ්‍රීපාද වන්දනාව පිළිබඳව බොහෝ වත් පිළිවෙත් පවතී. එමෙන්ම එහා සම්බන්ධ වචන භාවිතාවක් ද දක්නට ලැබේ. පළමු වරට ශ්‍රී පාදය නගින වන්දනා කරු 'කෝඩුකාරයා ' ලෙස හඳුන්වයි. ඔහු සීතගඟුල යන දොළ පහරෙන් නා ගත යුතුය. ඉඳිකටු පාන නමින් හඳුන්වන ස්ථානයේදී ඉඳිකටු හා නුල් සවිකරති. මේ හා බැඳී ඉතිහාස කතාව වන්නේ බුදුන්වහන්සේ සමන්ත කුඨයට වැඩම කරන විට ඉරුණු සිවුර ගෙත්තම්පානේදී මසා පිළිසකර කරගෙන තිබේ. එම නිසා මේ ස්ථානයට එම ගෙත්තම්පාන ලෙස ව්‍යවහාර වේ.  නඩේ , නඩේ ගුරා , කෝඩු , කිරිකෝඩු , සැහැල්ලුව , හිමේ , කරුණාවයි , පේවීම, කට වරද්දා ගැනීම, කෝඩේ , අම්බලම , පද්මය වැනි වචන භාවිතා කරයි. එමෙන්ම ඉඳිකටු පාන , ගෙත්තම්පාන , සීතගඟුල , මහගිරි දඹ , අහස්ගව්ව , ආදී ස්ථාන නාම ද භාවිතා කරනු ලබයි. ශ්‍රීපාදය වන්දනා කරන විට කවි කීම දක්නට ලැබේ. එහිදී වන්දනා කර ආපසු පැමිණෙන පිරිසට කවියෙන් ආශිර්වාද කරන අතර එම පිරිස වන්දනා කිරීම සඳහා යන පිරිසට පෙරලා  කවියෙන් ආශිර්වාද කරයි. එමෙන්ම කඳු මුදුනට නැගී පසුව තමන් ශ්‍රී පාදය වන්දනා කල වාර ගනනට අනුව ඝණ්ටාරය නාද කරනු ලැබේ. ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණෙන විට සිත , කය , වචනය යන තුන්දොරම සංවර කරගෙන පැමිණිය යුතුවේ. පේවීම හා කට වරද්දා නොගැනීම ලෙස දක්වන්නේ එයයි. පැරණි මිනිසුන් ශ්‍රීපාදය වන්දනා කිරීම සඳහා පයින්ම පැමිණ තිබේ. එසේ පැමිණෙන විට තම ඉඩකඩම් , හරකා බාන නිවැසියන් වෙත පවරා දී පැමිණ තිබේ. එසේ කිරීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ ශ්‍රීපාදය තරණය කිරීම බොහෝ අසීරු අපහසු කාර්යක් වීමයි.  ක්‍රි.පු.300 පමණ ලංකාවට පැමිණි මහා ඇලෙක්සැන්ඩර් රජු දම්වැලක එල්ලී ශ්‍රීපාද කන්ද තරණය කල බව ඉතිහාසයේ කියවේ.






සමන්ත කුඨ පර්වතය පිළිබඳව මුලින්ම සඳහන් වන්නේ පස් වැනි ශතවර්ෂය මැද භාගයේදී 'බුද්ධගෝෂ' හිමියන් විසින් ලියන ලද 'සමන්ත පාසාදිකාව' නම් විනය පිටක අට්ඨකතාවෙහි ත් 'ධාතුසේන' රජ දවස 'මහානාම' හිමියන් විසින් ලියන ලද මහාවංශයෙහිත් ය. ශ්‍රී පාදය වන්දනා මාන කල රජවරු පිලිබඳ සඳහන් සෙල්ලිපි ගණනාවක් ඇත. මහා වංශය , දීපවංශය , චුලවංශය , රාජාවලිය , සමන්ත කුඨ වර්නාවේද යන ග්‍රන්තවලද මේ පිළිබඳව ලියවී තිබේ. කෝට්ටේ යුගයේ ලියවුනු සැළලිහිණි සංදේශයේ සමනල කන්ද පිළිබඳව මෙසේ දැක්වේ. 

සුරරද සමන් සමගින් සුරඟන එවර
පැහැ නද මදාරා පරසතු මල් පතර
කර පුද වඳින රැඳී මුනි සිරිපා තඹර 
සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර

 දුටුගැමුණු රජ දවස ශ්‍රීපාද අඩවිය රහතන් වහන්සේලාගෙන් පිරි තපෝ භූමියක්ව තිබු බව සඳහන් වේ.  ඉතිහාසයේ  දැක්වෙන ආකාරයට පළමුවෙන්ම සිරිපා වන්දනා කිරීම සිදු කර ඇත්තේ ක්‍රි. පූ.29-17 අතර කාලයේය. එකල රජකම් කල වළගම්බා රජතුමා ශ්‍රීපාදය වන්දනා කර තිබේ. ශ්‍රීපාදයේ දියුණුවට විශාල සේවයක්ද මේ රජු විසින් සිදු කර තිබේ. සිරිපා වන්දනාව පිලිබඳ තොරතුරු සඳහන් වන සෙල්ලිපි දෙකක් 'පළමුවන විජයබාහු' රජු විසින් 'අඹගමුව' හා 'ගිලිමලේ' යන ප්‍රදේශවල පිහිටුවා ඇත. 'අඹගමුව' සෙල්ලිපියේ වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සඳහා විශ්‍රාමශාලා කිහිපයක් කරවූ බවද මාර්ගය ආසන්න කෙත්වතු හා ගම්බිම් පරිත්‍යාග කල බවද දැක්වේ. 'මහා පරාක්‍රමබාහු' රජතුමාද ශ්‍රීපාදය වැඳපුදා ගත්බව සඳහන් වේ. එතුමා සුමන සමන් දෙවියන් සඳහා සිරිපා මළුවේ දේවාලයක් ඉදිකර තිබේ. 'නිශ්ශංකමල්ල රජතුමා' ද ශ්‍රීපාදය වන්දනාමාන කල ආකාරයත් පවරා දුන් ගම්බිම් පිළිබඳවත් 'භගවා ලෙන' ගල් ගුහාවේ ඇඳ තිබේ. 'දෙවන පරාක්‍රමබාහු' රජතුමා ශ්‍රීපාදය සඳහා කරන ලද ධන පරිත්‍යාගයන් පිළිබඳව පැරණි ග්‍රන්ථ බොහොමයක දක්වා ඇත. නමුත් 'සීතාවක රාජසිංහ' රජු ශිව ආගම වැළඳ ගැනීමත් සමග ශ්‍රීපාද හි භාරකාරත්වය බෞද්ධ භික්ෂුන්ගෙන් ගිලිහි ගොස් හින්දු පුජක පිරිසක් වූ ආඬින්ට හිමිවිය. ඉන් පසුව රජවූ 'දෙවන විමලධර්මසුරිය' රජතුමා ශ්‍රිපාදයට ගොස් සත් දිනක් තිස්සේ මහා පින්කම් සිදුකර තිබේ.  

මිට සියවස් කිහිපයකට කලින් සිරිපතුල නිරාවරණව පැවතී හෙයින් එය ඇස්පනාපිටම දැක බලාගත් අය වෙති. ඉබන් බතුතා, චාඕ ජුකුමා , සුලේයිමන්තුමා , ඉබන් තාබුර් දාබ්බේ වැනි ය තබා ඇති සටහන් තුලින් ඒ බව සනාත වේ. නමුත් සිරිපතුල පිළිබඳව ඔවුන් දක්වන ප්‍රමාණයන් වෙනස් වේ. පසු කාලයේදී පැමිණි විදේශීය ජාතිකයන් සිරිපතුලේ කොටස් ගලවාගෙන යාම හේතුවෙන් සිරිපතුල ප්‍රදර්ශනය කිරීමෙන් වැලකි ඇත. 





1 comment:

  1. කරුණාවයි...කරුණාවයි....සමන් දෙවිදු කරුණාවයි...

    ReplyDelete