Friday, August 26, 2016

කොලොම්පුරේ කතන්දරේ...


කොළඹ ගැන විස්තර ටිකක්



කොළොම්තොට , කොලොන්තොට ලෙස අතීතයේදී හැඳින්වුණු කොළඹ  ප්‍රදේශයට මේ නම ලැබීමට නගරයේ තිබුණු අඹ ගස් හේතු වූවා යයි මතයක් පවතී. පෘතුගීසින් විසින් මේ නම මුලිම් භාවිතා කල බවටද මතයක් පවතී. කැළණි ගඟේ තොටුපොල යන අරුත් දක්වන කොළොම්තොට යන වදනින් කොළඹ යන්න බිඳී ආ බව විශ්වාස කෙරේ. ලන්දේසි යුගයේ කොළඹ නිල ලාංජනය ලෙස යොදාගෙන ඇත්තේ ඵල රහිත අඹ ගසකි. එම ලාංජනය තුලින්ද මේ කියමන සනාත වේ. 
 
1505 දී පෘතුගීසීන්ගේ පැමිණීමත් සමග මෙය ඔවුන්ගේ වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත්වූ බව සැලකේ. පසුව ඔවුන් මේ ස්ථානය ආරක්ෂක මධ්‍යස්ථානයක් හා වරායක් ලෙස සංවර්ධනය කරන ලදී. එසේ සිදුකරන ලද්දේ දිවයින තුලට තම බලය විහිදීමට අවශ්‍ය පාලනය කොටුව ප්‍රදේශයට එක් කර ගැනීමේ අරමුණෙනි. 1656 දී ලන්දේසින් විසින් කොටුව අත්පත් කරගත් අතර තමන්ගේ වටිනා වෙළඳ ද්‍රව්‍ය ආරක්ෂා කරගැනීමට යොදාගන්නා ලදී. කොළඹ ලන්දේසි පරිපාලනයේ ප්‍රමුඛස්ථානයට පත් වීමත් සමග මුහුදින් හා රට අභ්‍යන්තරයෙන් ඇතිවිය හැකි තර්ජන වලට මුහුණ දීය හැකි ආකාරයෙන් නගරය පුළුල් හා ශක්තිමත් කරවීමට ලන්දේසීහු උත්සුක විය. පෘතුගීසීන්ගේ ආරක්ෂක බලකොටු හා ඉදිකිරීම් සමහරක් බිඳ හෙලීමට කටයුතු කල ලන්දේසින් අනතුරුව වැවත් මුහුදත් අතර පිහිටි බිමෙහි ස්වභාවික වාසිය හොඳින් ලබා ගත හැකි වන පරිදි එය යලි ගොඩනංවන ලදී. ආක්‍රමණකාරී ලන්දේසීන්ට විරුද්ධව රට අභ්‍යන්තරයෙන් පැන නැගුනු සිංහල රජවරුන්ගේ සටන් හමුවේ එය කිහිපවිටක්ම වැටලීමට ලක්වූ අතර ලන්දේසින් හට කොටුව ඉතා වැදගත් බලකොටුවක් විය.බ්‍රිතාන්‍යන් විසින් ලන්දේසීන්ට අයත්ව තිබු මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කර ගැනීමත් සමග කොටුව ඔවුන්ගේ පරිපාලන මධ්‍යස්ථානය බවට පත්විය. 1815 කන්ද උඩරට ගිවිසුමත් සමග කොළඹ මුළු දිවයිනේම අගනුවර ලෙසට නම් කරන ලදී. තවදුරටත් ඍජු හමුදාමය තර්ජනයක් නොපැවතී නිසාත් නගරයේ සංවර්ධනයට බාධාවක් යැයි සැලකු නිසාත් 1870 දී කොටුවේ බිත්ති කඩා බීම හෙලන ලදී. ලන්දේසි ගොඩනැගිලි ද මෙලෙසම විනාශකර දැමු අතර නව ගොඩනැගිලි ඉදි කරවුයේ ප්‍රදේශයට බ්‍රිතාන්‍ය ආභාෂය එක්වන අයුරෙනි.
 
 
 

 
 ( ගාෆර් ගොඩනැගිල්ල පසුබිම් කරගත් මහා විදිය)
 
 
 
 
 මෙලෙස බලකොටුවේ ප්‍රාකාර බිත්ති පවා බිඳ දැමුවත් තවමත් මෙම ප්‍රදේශය කොටුව නමින් හැඳින්වේ. මේ ප්‍රදේශයේ ගොඩනැගිලි බොහොමයක් බ්‍රිතාන්‍ය පරිපාලන ගොඩනැගිලි වශයෙන් පැවතුණි. 1948 දී බ්‍රිතාන්‍යන් ගෙන් නිදහස ලබා ගැනීමත් සමග රාජ්‍ය ආයතන හා පරිපාලන මධ්‍යස්ථාන කොටුව ප්‍රදේශයට කේන්ද්‍ර වීම දක්නට ලැබුණි. පසුකාලීනව රාජ්‍ය පරිපාලනය පුළුල් වීම හේතුවෙන් කොළඹ නගරය තුල තදබදයක් නිර්මාණය වීම නිසා 1980 දී රාජ්‍ය අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයට විතැන් කිරීමට පටන් ගැනිණි.  
 
 
 
 
 
 (කාගිල්ස් හා මිලර්ස් ගොඩනැගිල්ල)
 
කොළඹ නගරය තුල තවමත් මෙරට යටත් කරගෙන සිටි ජාතින් විසින් නිර්මාණය කල ගොඩනැගිලි කිහිපයක් දැකගත හැකිය. ඉන් එකක් ලෙස ලන්දේසි රෝහල දැක්විය හැකිය. 1686 ලන්දේසින් විසින් ඔවුන්ගේ නිලධාරීන්ට හා සේවකයන්ට ප්‍රතිකාර ලබාදීමේ අරමුණින් මේ රෝහල ඉදිකර තිබේ. රොබට් නොක්ස් ගේ වාර්තාවන්ට අනුව ලංදේසි නිලධාරීන්ට අමතරව මේ රෝහලින් 1739 දී රට පාලනය කල නරේන්ද්‍රසිංහ රජතුමාද ප්‍රතිකාර ලබාගත් බවට දක්වා තිබේ. 1980 දී මේ ගොඩනැගිල්ල පොලිසියට පැවරී තිබුණු අතර 1996 මහා බැංකු බෝම්බයෙන් රෝහලට බරපතල හානි සිදුවිය.
 
පැරණි ප්‍රදීපාගාරය හා ඔරලෝසු කනුව ලංකාවේ දැකගත හැකි ඔරලෝසුවක් සවිකරන ලද එකම ප්‍රදීපාගාරය වේ. වර්තමානයේ ප්‍රදීපාගාරය අක්‍රියව පවතින අතර ඔරලෝසු කණුවක් ලෙස භාවිතයේ පවතී. මෙම ප්‍රදීපාගාරය ලංකාවේ ඉදිකරන ලද මුල්ම ප්‍රදීපාගාරය ලෙසද සැලකේ. එසේම කොළඹ සිට පිට පලාත්වල ප්‍රධාන මාර්ගවල දුර මනිනු ලබන්නේද මෙහි සිට බව සඳහන් වේ. 1860 දී ඔරලෝසු කණුවක් ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා මෙම කුලුන ඉදිකළත් 1865 ඊට ප්‍රදීපාගාර ලාම්පුවක් සවි කල බව පැවසේ. 1913 දී මෙහි වූ මුල් ඔරලෝසුව ප්‍රතිස්ථාපනය කරන ලදී. පසු කාලයේදී අවට ඉදිවූ උස ගොඩනැගිලි හේතුවෙන් ප්‍රදීපාගාරයේ ආලෝකයට බාධා ඇතිවිය. මේ නිසා 1952 දී කණුවෙහි වූ ප්‍රදීපාගාර ලාම්පුව භාවිතය නවත්වන ලදී.
 
ජනාධිපති මන්දිරය ද පැරණි ගොඩනැගිලි වලට අයත් වන්නෙකි. මෙය ලංදේසි ආණ්ඩුකාරවරයාගේ නිල නිවස යි. බ්‍රිතාන්‍ය යුගයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ නිල නිවස වූ අතර 1972 දක්වා මෙය හැඳින්වුයේ රැජිනගේ නිවස ලෙසයි.
 



(පැරණි පාර්ලිමේන්තුව)

පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය යුගයේ ඉදිවූවකි. මෙය නියෝබැරොක් ශෛලියට අනුව නිර්මාණය කර තිබේ. තවත් විශේෂ ස්ථාන කිහිපයක් ලෙස සම්බෝධි විහාරය , ලෝක වෙළඳ මද්‍යස්ථානය , පැරණි මහා තැපැල් කාර්යාලය , කාර්ගිල්ස් ගොඩනැගිල්ල , ටෙලිකොම් සමාගම , මහා බැංකුව යන ඒවා දැක්විය හැකිය.
 
සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ස්ථාන රාශියක් කොළඹ දක්නට ලැබේ. ගාලු මුවදොර පිටිය ; නගරයට පැමිණෙන සංචාරකයින් හා නගරවැසියන්ගේ ආකර්ශනීය ස්ථානයක් වේ. ගාලු මුවදොර හෝටලය , ගංගාරාම විහාරය , ජාතික කෞතුකාගාරය ; මෙය ලංකාවේ විශාලම කෞතුකාගාරය වේ. විහාරමහාදේවි උද්‍යානය , නිදහස් චතුරශ්‍රය , පාවෙන වෙළඳ සංකීර්ණය දැක්විය හැකිය.
 
කොළඹ බහු වාර්ගික හා බහු සංස්කෘතික නගරයක් වේ. සිංහල ප්‍රධාන ජනකොටස වන අතර මුස්ලිම් හා දමිල ජාතීන්ද ජිවත් වේ. මිට අමතරව කුඩා කණ්ඩායම් ලෙස චීන , පෘතුගීසි , ඕලන්ද , මැලේ සහ ඉන්දියානු ප්‍රභවයක් සහිත පිරිස්ද වාසය කරයි. මෙහි ජනගහනය 642,163 පමණ වේ. 1866 වන විට කොළඹ නගරයේ  ජනගහනය 80,000 පමණ විය.  
 
 
අන්තර්ජාලය ඇසුරෙන්
 
 

1 comment: