Tuesday, August 9, 2016

පුංචි කතාවක්

පසුතැවීම.
                

වේලාසනින් අවදි වු විපුල මුළුතැන්ගෙය දෙසට පැමිණියද තමාලි ඒ පිළිබඳව එතරම් තැකීමක් නොකළේය.තමලිට ඇසෙන පරිදි කට සෝදා දැමු විපුල කුස්සියේ තිබු පුටුවෙන් වාඩි වී නිහඬවම සිටියේය.වෙනදා නම් තමා නැගිටවිත් තමාලි තුරුළු කරගත්තද දැන් එලෙස කිරීමට විපුලට සිතෙන්නේ නැත.තමාලි නිහඬවම තේ හදයි.පෙරදා රැයේ ඇය හොඳටම හැඩු නිසා මුහුණද තඩිස්සි වී ඇත.මීට කලකට ඉහතදී නම් ඇය ඉතා කඩිසර රූමත් කාන්තාවක් විය.නමුත් දැන් ඇය වෙනස් වී ඇත.ඇයට ඇත්තේ මලානික පෙනුමකි.තමාලි දෙස බලා සිටින විට විපුලට වරදකාරී හැඟීමක් දැනුනද හෂිනි සිහිවී ක්ෂණිකයෙන් එය යටපත් වී ගියේය.
                      
ආ මෙන්න.....තමාලි තේ කෝප්පය විපුල අතට දී නැවත තම කටයුතු වල නිරත වුයේ විපුලට රිදවීමට මෙනි.තවත් එතන රැඳීමට අපහසු වු විපුල සෙමෙන් සාලයට පැමිණ තේ බොන්නට විය.
                     
තමා පුතු හා තමාලි වෙනදා කොතරම් සතුටින් සිටියේදැයි සිතීම විපුලට මහත් වේදනාවක් ගෙන දෙන්නක් විය.සියල්ල තමාගේ වරදය.තමාලි වේදනාවෙන් හඬන සෑම දිනකම විපුලද සිතින් හඬා වැටුනේය.ඔහු තමාලිට ආදරය නැතිව නොවේ.නමුත් හෂිනිගෙන් ඈත් වීමේ ආත්මශක්තියද විපුල සතු නොවිය.විපුල ගිරයට හසුවූ පුවක් ගෙඩිය මෙන් හෂිනි අතරත් තමාලි අතරත් දෝලනය වෙයි.තේ බොමින්ම විපුල කල්පනාවට වැටි සිටියේය.අතීතය විපුල  ඉදිරියේ මැවි පෙනුනේ රූපරාමුවක් පරිද්දෙනි.
                        
තමාගේ කාර්යාල සහයිකාව ලෙස පැමිණි හෂිනි දුටු පළමු දිනයේම විපුලගේ සිත් ගත්තේය.ඇය ඕනෑ තරම් වෙලාවක් බලාසිටීමට හැකි තරම් රූමත් බවකින් පිරී ඇතැයි විපුලට සිතුනි.හෂිනිද ඉක්මනින් කාර්යාලයේ අනෙක් අය සමග සුහද විය.විපුලට වෙනදාට වඩා කුමක්දෝ නොතේරෙන වෙනසක් දැනෙන්නට විය.තම කාර්යාල කාමරය පිරී ඇතැයි ඔහුට සිතුනි.විපුල ඇය සමග වැඩි කතාබහකට මුලින්ම නොගිය නමුත් ඇය ගැන විමසිල්ලෙන් පසුවිය.
                        
වෙනදා තමාලි ඇහැරවන තෙක්ම නිදාගන්නා විපුලට දැන් දැන් රාත්‍රිය දිගු වැඩි යයි සිතේ.විපුල වැඩට යන්නේම හෂිනි දැකගැනීමේ බලාපොරොත්තුවෙනි.මෙලෙස දින සති ගෙවී ගියේ විපුලටත් නොදැනීය.
                 
දිනක් වැඩ නිමවී විපුල ගෙදර යන විට හෂිනි බස් නැවතුම්පලේ සිටිනු දැක ඇයට කතාකළේය.
 හෂිනි මොකද මෙතන...තාම බස් එක ආවේ නැද්ද?

නෑ සර්...අද ටිකක් බස් එක පරක්කුයි වගේ...

කොහාටද යන්නේ? විපුල විමසා සිටියේ ඇයව තම කාරයේ නංවාගෙන යාමට හැකිවේවායි පතමිනි.
නාරම්මලට සර්.

ඉතින් ළමයෝ මාත් යන්නේ ඒ පාරෙමනේ.එන්න නගින්න...මං ඔයාව බස්සවාගෙන යන්නම්.

විපුලගේ සතුට ඉහ වහා ගියේය.හෂිනිද කැමැත්තෙන්ම වාහනයට ගොඩවිය.

නාරම්මල ටවුන් එකෙන්ද බහින්නේ හෂිනි.

නෑ සර්....ටවුන් එකට මෙහා..

සර්ගේ ගෙවල් කොහෙද?

මං කළුගමුවේ...

ආ.....එහෙමද.

වෙන කවුද ඔයාගේ පවුලේ ඉන්නේ?

අම්මයි, තාත්තයි, නංගියි.

ඇයගේ කටහඬ ද ගීතවත් යයි විපුලට සිතේ.

සර් ඔය ඉස්සරහ තියන පාර ළගින් නවත්තන්න.

තෑන්ක්ස් සර්... මං යන්නම්....

ඕකේ හෂිනි..බායි...

බායි සර්....
           
විපුල ගෙදර යන විට තමාලි ආදරණියව විපුල පිළිගනු ලැබුවද  හෂිනිගේ සිහියෙන් සිටීම නිසා එය එතරම් වැදගත් නොවුනි.

ඔයාට මහන්සියි නේද විපුල..නාගෙන එන්න..මං තේ එකක් ගේන්නම් රසට.....
           
විපුල ඉක්මනින් නාන කාමරයට වැදුනේ අද දිනය ගැන නැවත නැවතත් සිහි කිරීමට අවශ්‍ය වු බැවිනි.ඔහු වෙනදාට වඩා වැඩි වෙලාවක් නෑවේය.නාගෙන එන විට තමාලි තේ එකක් සාදා තිබුණි.විපුල තේ බිව්වේද හෂිනිගේ රුව මවා ගනිමිනි.
              
කාලය ඉක්මනින් ඉගිලී ගියේ විපුලත් හෂිනිත් පෙම්වතුන් බවට පත් කරමිනි.
         
තමාලිට මේ සම්බන්ධය රහසක් විය.ඇය වෙනදා මෙන් උදෑසන නැගිට විපුලට කෑම පිස දුන්නද බොහෝ වෙලාවට එය වැටුනේ කුණු බක්කියකටයි.ඒ හෂිනි විපුලටත් එක්කම කෑම ගෙනෙන නිසාය.

ඔයාට රසට උයන්න පුළුවන්නේ පැටියො...
              
හෂිනි මොකුත් නොකියා හිනා වුනේ ප්‍රසංශාවට සතුටු වෙමිනි.ජීවිතය හරිම සුන්දරයැයි විපුලට මෙන්ම හෂිනිටද සිතුනි.නමුත් තමාලිට එන්න එන්නම ජීවිතය කටුක වීමට යාමේ කුමක්දෝ පෙරනිමිත්තක් දැනෙමින් තිබුණි.
           
විපුල වෙනදා මෙන් හැසිරෙන්නට උත්සහ කලද ඔහු කෙරෙන් යම් වෙනසක් තමාලි දුටුවේය.ඇය ඒ පිළිබඳව විමසීමට නොගියේ විපුල තමාට ආදරේ බව දන්නා නිසාය.නමුත් කෙමෙන් කෙමෙන් විපුල අතින් තමාලිට ලැබුණු සැලකිලි අඩුවන්නට විය.තමාලි විපුලගේ ආදරය බලාපොරොත්තු වුවද වෙනදා මෙන් ඇය සතුටු කිරීමේ හැකියාවක් ඔහුට නොතිබිණි.තමාලි සිතින් දුක්වන බව දැනුනත් විපුලට කළහැකි යමක් නොපෙනුණි.දිනක් තමාලි මේ පිළිබඳව ප්‍රශ්න කල අයුරු විපුලට මතක් විය.

විපුල.... ඇයි ඔය දැන් ඉස්සර වගේ නැත්තේ.ඔය වෙනස් වෙලා වගේ මට දැනෙනවා...

ඔයාට පිස්සු තමාලි..එහෙම දෙයක් නෑ.විකාර කියවන්නේ නැතුව නිදාගන්න..මට නිදිමතයි.
   
නිහඬවම අනෙක් පසට හැරුණු තමාලි හඬන බව විපුලට දැනුනි.සිතට මහා වේදනාවක් ආවද විපුල කිසිත් නොකියා සිටියේය.ඒ වෙනුවට ඔහු සිතින් දහස්වරක් තමාලිගෙන් සමාව අයැදිය.
     
එක් සිකුරාදා දිනක විපුල හා හෂිනි කාර්යාලයේ නිවාඩු දැමුවේ නිදහස් සුව විඳීමේ අරමුණෙනි.වෙනදා මෙන් කාර්යාලයට යාමට සුදානම් වුවද විපුල ගියේ කුරුණෑගලටයි.හෂිනි කුරුණෑගල බස් නැවතුම් පොළ අසල සිටින බව පෙරදා ඔහුට දැනුම් දී තිබුණි.විපුල යන විටත් හෂිනි පැමිණ මග බලමින් උන්නේය.
                 
හෂිනි ඉක්මනින් කාරයට නැග ගත්තේ කවුරුන් හෝ දකිතියි යන බිය නිසාය.

හෂිනි මේ බත් එක අර හිගන මනුස්සයට දෙන්න...තමාලි ඔතාදුන් බත් පාර්සලය හෂිනිට දිගු කළේය.

සිනා මුසු මුහුණින් පාර්සලය ගත් හෂිනි එය හිගන්නාට දුන්නේය.

අපි කොහෙද යන්නේ?

මං හිතුවේ නුවර යන්න...ඔය කැමතිද?

හ්ම්ම්...කැමතියි.

*********************************************
             
තමාලි වෙනදා මෙන් පුතාව රැගෙන යාම සඳහා පාසලට පැමිණියේය.අධික රස්නය තමාලිට හිස කැක්කුම් ගෙනෙන්නක් විය.පුතා රැගත් තමාලි ඉක්මනින් පැමිණියේ නිවාස වෙත යන බසය අල්ලා ගැනීම සඳහාය.
              
තමා විපුලට ඔතා දුන් බත් පාර්සලය වැනිම බත් පාර්සලයක් මාර්ගය අසල සිටින හිගන මිනිසා කමින් සිටිනු තමාලි දුටුවේ අහම්බයෙනි.ඇය එය ගණන් නොගෙන ඉදිරියට ගියද යලි තමා එතු බත් මුලමදැයි බැලීමට සිත්වී හිගන්නාට මුදල් ලබා දෙන ආකාරයට ගොස් බත් මුල දෙස හොදින් බැලිය.
                    
තමාලිට තම කකුල් පන නැති වේගන එනවා මෙන් දැනුණි.එය තමා විපුලට ඔතා දුන් බත් පාර්සලයම විය.තමා ඉවූ මාළුපිණි, එතු පත්තර පිටුවද එයම විට.කෑ ගසා හඩන්නට සිතුනද තමාලි ඉවසා සිටියේ කරන්නට දෙයක් නොවූ බැවිනි.
           
ගෙදර ගිය වහාම විපුලගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත්තද එය ක්‍රියා විරහිත කර තිබුණි.විපුලගේ කාර්යාලයට ඇමතුමක් ගත් තමාලිට දැනගත හැකි වුයේ ඔහු නිවාඩු දමා ඇති බවයි.තමාලිට හෙන ගෙඩියක් හිසමත පාත්වුවාක් මෙන් දැනුණි.පුතා නිම්සරට මේ කිසිවක් තේරුම් ගත නොහැකිව බලා සිටියේය.

අම්මේ.....ඇයි අම්ම අඩන්නේ?

අම්මගේ ඔලුව රිදෙනවා පුතේ...මගේ පුතා ගිහින් ඉස්කෝලෙ වැඩ කරන්නකෝ.අම්ම ටිකක් නිදාගෙන එන්නම්.... පැවසු තමාලි ඇදට වැටි ඇති තරම් හැඬුවේය.
           
විපුල වෙනසක් නැතිව වෙනදා මෙන් නිවසට පැමිණියද තමාලි පෙනෙන්නට නොවිය.තමාලි සොයා කුස්සියට යන විට ඇය උයන්නට සුදානම් වෙමින් සිටියේය.ඇයගේ කුමක්දෝ වෙනසක් තිබෙන බව දැනුනද විපුල ඇය එතරම තැකුවේ නැත.

තමාලි මට තේ එකක් හදල දෙන්න.

අද කොහෙද ගියේ? තමාලිගේ පැනයෙන් විපුල අන්දමන්ද විය.නමුත් ඒ බවක් නොපෙන්වූ ඔහු වැඩට යැයි පැවසිය.

ඇත්තද.....කවද ඉදන්ද ඔයාගේ ඔෆිස් එක කුරුණෑගලට ගෙනිච්චේ? තමාලිගේ කතාවෙන් විපුලට කටඋත්තර නැතිවිය.තමාලි සියල්ල දැනගෙනද? එහෙම වෙන්න බෑ...විපුල සිතුවේය.

ඔෆිස් එකනම් කුරුණෑගලට ගෙනිහින් නෑ.ඔෆිස් එකේ වැඩකට අද මට කුරුණෑගලට යන්න උනා.

ඒක නිසා වෙන්න ඇති බත් එක හිගන්නට දුන්නෙ.ඇයි  ඔයා මට බොරු කියන්නේ? වැඩට යනවා කියල කවුරු එක්කද ඇවිදින්න ගියේ? මං තමුසෙගෙ ඔෆිස් එකටත් කෝල් කළා.නිවාඩු දැම්මේ කොහේ යන්නද?
          
තමාලිගේ ප්‍රශ්න වැලට විපුලට උත්තර නැතුව ගියේය.ඇය සියල්ල දැනගෙන අහවරය....තමාලි හඬමින් බැනවදි....විපුල කිසිත් නොකියා කාමරයට වැදී ඇදේ හාන්සි විය.
                     
එතැන් පටන් තමාලි හැසිරුනේ නපුරු ගැහැනියක ලෙසයි.විපුල හා තමාලි අතර නිතර රණ්ඩු ඇතිවිය.තමාලි සිටියේම හඬාගත් ගමන්මය.විපුලට මෙය පීඩාකාරී වුවද තමා කරන වැරැද්ද නොකළ යුතු බව සිතුනද ඇය දුටුවිට ඒ සිතුවිලි ක්ෂණිකව යටවී යයි.
           
දුරකථනය නාද වන ශබ්දයට විපුල කල්පනා ලොවින් මිදුනේය.

හෙලෝ .....ඇමතුම තමාලිගේ මහ ගෙදරිනි.

තමාලි ඔයාට කෝල් එකක්...යයි පැවසු විපුල රිසිවරය තබා නාන කාමරය දෙසට ගමන් කළේය.
       
විපුල කාර්යාලයට යාම සඳහා සුදානම් වී මේසය දෙස බැලුවද වෙනදා මෙන් බත් මුල දැන් එහි නැත.එහෙත් පුරුද්දට මෙන් ඔහු ඒ දෙස බලයි.පිටත් වීමට සුදානම් වනවිට දොරකඩ අසලට පැමිණි තමාලි විපුලට කතා කළේය.

විපුල ....තාත්තට අසනීප වෙලා.හවස ගෙදර ගිහින් එන්න ඕනේ.කලින් එන්න පුලුවන්ද?

මං එන්න බලන්නම්...කියූ විපුල කාරය පන ගැන්වූයේය.

තමාලිගේ මහ ගෙදර යාමට විපුලට කිසිදු කැමැත්තක් නොවිය.ඔහුට වරදකාරී ගතියෙන් මිදීමට නොහැකිවීම නිසා ඔවුන්ට මුහුණ දීමට අපහසුවක් දැනුණි.තමාලිට බොරුවක් කීමට ඔහු සිතාගත්තේය.

විපුල කාර්යාලයට ගොස් තමාලිට දුරකථන ඇමතුමක් ගත්තේය.

තමාලි...මට හදිස්සියේ මීටින් එකක් වැටිලා.එන්න පුළුවන් වෙයි සමහරවිට...මං පරක්කු වුනොත් ඔයා ගිහින් එන්න.

විපුල පැවසු දේ පමණක් අසා සිටි තමාලි රිසිවරය තැබුවේය.
        
අද ටිකක් ප්‍රමාද වී යන බව සිතාගත් විපුල හෂිනිට කතාකළේය.

හෂිනි...අපි අද හවස යනකොට දශාන් එකෙන් මොනා හරි බිල යමුද?

හෂිනිගේ මුහුණ වෙනදා මෙන් ප්‍රබෝධමත් නැති බව විපුල දුටුවේ එවිටයි.

ඇයි ළමයෝ ඔයා දුකින් වගේ...?

මොකුත් නෑ සර්..අපි යමු.මට සර්ට කියන්න දෙයක් තියනවා....

මොකද්ද?

දැන් බෑ...හවස කියන්නම්.

හෂිනි ලගට ගිය විපුල ඇයගේ අතින් ඇද තුරුලට ගත්තේය.

හවස් වෙනකම් ඉන්න බෑ...දැන් කියන්න.

දැන් බෑ සර්...මං හවස කියන්නම්....කියූ හෂිනි විපුලගෙන් මිදී තම අසුන වෙත ගියේය.
       
විපුලට හෂිනිගේ මෙම වෙනස් වීම මහත් ප්‍රෙහේලිකාවක් විය.නිවසේ තත්වය එන්න එන්නම නීරස වුවද හෂිනි සිටි බැවින් විපුල ඒ ගැන එතරම් තැකීමක් නොකළේය.හෂිනිගේ හැසිරීම නිසා තමා තනිවේදෝ යන බියක් එකවරම විපුලට ඇතිවිය.
      
සවස විපුලත් හෂිනිත් අවන්හල වෙත යාමට පිටත්විය.තමාලි ඇමතුම් ගනී යයි සිතුනු බැවින් ජංගම දුරකතනයද ඕෆ් කර දැමිය.හෂිනි කතාවට අල්ලා ගැනීම හැදුවද ඇය අසන දෙයකට කෙටි පිළිතුරක් දී නිහඬ විය.රිදවාගත් සිතින් යුතුව විපුල නිහඬවම අවන්හල වෙත රිය පැදවිය.

මොකද්ද ඔයාට කියන්න තියෙනවා කිව්වේ?දැන් කියන්න බලන්න....විපුල පැවසු විට හෂිනි එක්වරම හඩන්නට පටන් ගත් බැවින් මහත් අසීරුවට පත්විය.

හෂිනි ...ඇයි ළමයෝ අඩන්නේ...ඇයව තමා දෙසට වත්තන් කරගනිමින් විපුල විමසුවේය.

මට සර්ගෙන් අයින් වෙන්න දැන් කාලේ හරි...යයි ඉකිගසමින් හෂිනි පැවසු දේට විපුලගේ පපුව දෑවේය.
ඇයි එක පාරටම එහෙම කියන්නේ?

මට බඳින්න කෙනෙක් අම්මල හොයල...එයාට අකමැති වෙන්න කිසිම හේතුවක් මට නෑ....එක නිසා මට එයාව බඳින්න වෙනවා....

හෂිනිගේ වදන් වලට විපුලගේ සිත බොහෝ රිදුනේය.නමුත් මේ සත්‍යට කවදා හෝ තමා මුහුණ දිය යුතුය.එහෙත් හෂිනිව කෙසේ අමතක කරන්නේද යන්න පවා විපුලට සිතාගත නොහැකි විය.හෂිනිත් සමග බොහෝ වෙලාවක් ගතකල විපුල නැවත ඇය මුණ නොගැසෙන්නෙමියි සිතා ගත්තේය.
                   
හෂිනිව බස්සවා නාරම්මල නගරය දෙසට එන විට දැඩි මාර්ග තද බදයක් තිබීම විපුලගේ හිස කැක්කුම තවත් වැඩි කරන්නක් විය.තමා හෂිනිට හා තමාලිට කල අසාධාරණය පිළිබඳව පසුතැවෙමින් සිටියේය.
                    
වාහන තදබදයට හේතුවී තිබුනේ රිය අනතුරක් සිදුවීමයි.සෙනග එතන වටවී සිටියේය.රෝගීන් රෝහලට ගෙනයාම සඳහා වාහනයක් නතරකර ගැනීමට වෙහෙසෙමින් සිටියේය.නමුත් එක් වාහනයක්වත් නවත්වනවා පෙනුනේ නැත.විපුලගේ කාරය අසලට පැමිණි පුද්ගලයෙක් රෝහලට යාමට උදව් කරන මෙන් ඉල්ලා සිටියද ගලායන ලේ විල දුටු විපුලගේ හිස කැක්කුම තවත් වැඩිවිය.

මගේ වයිෆ්ට සනීප නෑ.එක නිසා එන්න විදියක් නෑ...පැවසු විපුල ඔවුන්ව මගහැරියේය.

එදින විපුල නිවසට පැමිණෙන විට රාත්‍රී 7 ද පසුවී තිබුණි.ගෙදර සිටියේ පුතා පමණකි.

කෝ පුතේ අම්ම?

තාම ආවේ නෑ...

කියට විතරද අම්ම ගියේ?

පහට විතර.තාත්ත එයි කියල අම්ම ගොඩක් වෙලා බලන් ඉදල ගියේ....

පුතාගේ කතාවට විපුලට සියුම් රිදුමක් ඇතිවිය.නාගෙන ඇඳට වැටුණු විපුලට තමාගේ අනුවණකම් හේතුවෙන් තමාලි දුක් විදින බව සිහිවී ඔහුටම දොස් පවරා ගත්තේය.තමා කල වැරදි වලට සමාව ඉල්ලා නැවත තමාලි සමග පෙර තිබු සතුට නිවසට රැගෙන එනවායි විපුල එවෙලේ සිතාගත්තේය.
       
තමාලි ප්‍රමාද බැවින් ඇයගේ දුරකතනයට ඇමතුමක් ගත්තද එය ක්‍රියා විරහිත කර තිබුණි.තමාලිගේ මහගෙදරට ඇමතුමක් දුන් විපුලට දැනගත හැකිවුයේ ඇය එහි ගොස් නොමැති බවකි.මෙය අසා කලබලයට පත් වුවද විපුලට කල හැකි යමක් නොවිය.
    
නිවසේ දුරකථනය නාද වෙනු ඇසී විපුල වහා ගොස් ඇමතුම ලබාගත්තේ තමාලි යයි සිතමිනි.

හෙලෝ....

විපුල දිසානායකද කතාකරන්නේ?

ඔව්...

නාරම්මල පොලිසියෙන් කතාකරන්නේ.ඔයාගේ වයිෆ් තමාලි අද හවස නාරම්මල ටවුන් එකේදී ඇක්සිඩන්ට් වෙලා...එයාගේ බෑග් එකත් පොලිසියේ තියෙනවා.ඇවිත් කටඋත්තරයක් දෙන්න...

තමාලි කොහෙද ඉන්නේ?

එයා කුරුණෑගල හොස්පිට්ල් එකට ඇතුල් කළා...

උන්හිටි තැන අමතක වු විපුල රෝහල වෙත ගියේ තමාලිට කරදරයක් නොවේවායි පතමිනි.රෝහලෙන් දැනගත හැකි වුයේ තමාලි හදිසි සැත්කමක් සඳහා ගත් බවයි.ඔහු ඇය බැලීමට උත්සාහ කලද එයට අවසර නොලැබුණි.විපුලට ලෝකයම තමා පාමුල කඩා වැටෙනවා වැනි හැඟීමක් දැනුණි.අසල වු බැංකුවක වාඩි වු විපුල හඬාවැටෙන්නට විය.තමා විසින් තමාලිගේ හිත රිදවූ අයුරු මතක් වී තමාටම දොස් නගා ගත්තේය.

තමාලිගේ හස්බන්ඩ් ඔයාද?

හෙද නිලධාරිනියගේ ඇමතුමෙන් වහා නැගී සිටි විපුල වහා ඔව් යයි පැවසිය.

ඔයාට ඩොක්ටර් එන්න කිව්වා...අතන තියෙන රූම් එකට යන්න...යි අත දිගුකර එය පෙන්වා සිටියේය.
විපුල වහා වෛද්‍යවරයා වෙත ගියේය.

තමාලිට කොහොමද ඩොක්ටර්? අනේ එයාව සනීප කරල දෙන්න....විපුල හඬමින් පැවසිය.

සොරි මිස්ටර්....අපි පුළුවන් තරම් උත්සහ කළා...එයාව හොස්පිටල් එකට ගේනකොට ගොඩක් පරක්කු වෙලා.ඒ නිසා ලේ ගොඩක් ගිහින්...ටිකක් කලින් එක්ක ආවනම් බේරගන්න තිබුණා....
     
විපුලට කුමක් කල යුතුදැයි පවා කල්පනාවක් නොවිය.තමා මගහැර ආවේ ලේ විලක් මැද සිට තමාගෙන් ජීවිතය යැද්ද තම බිරිඳම නේදැයි සිහිවී පපුව පැලෙන්නට මෙන් වේදනා දෙන්නට විය.මේ සියල්ලේ වරදකරු තමා යන හැඟීම විපුලට වද දෙන්නට විය.සිය දහස් වාරයක් පසුතැවුනේය.නමුත් දැන් කරන්නට කිසිවක් ඉතිරි වී නොමැත.

තමාලිගේ පාංශුකූලය දෙන විට විපුලට මතක් වුයේ ගාථාවක කොටසකි.

අප්පමාදෝ අමතපදං -පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්ථා නමියන්ති -යේ පමත්ථා යථා මතා.

ප්‍රමාදය සිදුවී හමාරය.එමෙන්ම එය ජීවිත කාලයටම පසුතැවිල්ලක් ද එකතු කර හමාරය.

          

පුවත්පත් කාටූන් ශිල්පියෝ



ඩබ්ලිව්.ආර්.විජේසෝම 




W.R.විජේසෝම මහතා නිදහසින් පසු මෙරට කාටුන් කලාවේ පුරෝගාමී චරිතයක් ලෙස හැදින්විය හැකිය. මොහු වැඩි වශයෙන් දේශපාලන කාටුන් නිර්මාණය කිරීමට මුල්තැනක් දෙනු ලැබිය. 1925 දී දකුණේ උපත ලද මොහු නමින් විජේරුපගේ විජේසෝම නම් විය. කුඩා කාලයේදීම මව මියගිය අතර පියා සමගින් ජිවත් විය. කුඩා කාලයේදී විජේසෝම රැකබලා ගත්තේ ඥාතීන් විසිනි. ඔහු තම සහෝදරයා සමග ඉගෙනගත් අතර කලාවට වැඩි නැබුරුවක් විජේසෝම තුල දක්නට ලැබුණි. ඔහු තම සහෝදරයා සමග කුප්පියාවත්තේ විහාරස්තානයට දිනපතා යාමට පුරුදු වී සිටියේය. එහි ලොකු හාමුදුරුවන් සමග කතාබහ කර පැමිණීම ඔවුන්ගේ පුරුද්දක් විය. පසු කලෙක විජේසෝම මහතා පැවසුයේ එම සංවාදයන් තුලින් ලත් දැනුම තමාගේ ගැඹුරු චින්තනය වර්ධනය වීමට උපකාරී වූ බවයි. කුඩා කල ඉතාමත් කටුක ජිවිතයක් ගෙවීමට විජේසෝම මහතාට සිදුවිය. මාලිගාකන්ද මහාබෝධි රජයේ විද්‍යාලයේ 10 වන ශ්‍රේණිය දක්වා ඉගෙන ගත් විජේසෝම පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වී තිබිරිගස්යායේ පදිංචියට ගොස් තිබේ. පසුව විවිධ නිර්මාණ සඳහා උපදෙස් හා ප්‍රායෝගික පුහුණුව ලැබීමට කොළඹ කාර්මික විද්‍යාලයට ඇතුලත් වී තිබේ.

විජේසෝම මහතා පවසන ආකාරයට ඔහුගේ අධ්‍යාපනයෙන් වැඩි කොටසක් මහජන පුස්තකාලය හා කෞතුකාගාරය තුලින් ලබාගත හැකි විය.  “මම හැම දෙයක්ම එයින් ඉගෙන ගත්තා. ඒ කාලයේ සත්ව උද්‍යානය කෞතුකාගාරය ලගයි පිහිටලා තිබුනේ. මම සෙනසුරාදා එහි යනවා. දවල්ට කෞතුකාගාරයට යනවා. යුද්ධය පිළිබඳව හා මා වටා ඇති ලෝකයේ සිදුවන්නේ කුමක්ද යන්න දැනගැනීමට සඟරා කියෙව්වා. පසුව මෙය පුද්දක් බවට පත්වුණා. මම කියවපු දේවල් මගේ චින්තනය දියුණු කළා.” කඩෙන් මිලදී ගත යමක් ඔතා තිබෙන පත්තර පිටුව පවා කියවූ බව විජේසෝම මහතා පවසා සිටියි.

විජේසෝම මහතා තම පුවත්පත් වෘත්තීය ජිවිතය ආරම්භ කරන්නේ 1947 සැප්තැම්බර් 17 වනදාය. ඒ ටයිම්ස් පුවත්පතේයි. ඔහුට අවශ්‍ය වුයේ කාටුන් ශිල්පියෙකු වීමට වුවත් ඔහුට කාටුන් ශිල්පියෙකු ලෙස කටයුතු කිරීමට මුලින් අවස්තාව නොලැබුණි. නමුත් විජේසෝම මහතා දිගින් දිගටම විවිධ පෝස්ටර් තරග සඳහා තම නිර්මාණ ඉදිරිපත් කළේය. ඒ තුලින් ජයග්‍රහණ ලබාගැනීමටද ඔහු සමත් විය. පසුව ටයිම්ස් පුවත්පතේ පොකට් කාටුන් ශිල්පියෙකු ලෙස කටයුතු කිරීමට විජේසෝම මහතාට අවස්තාව ලැබුණි. ඔහුගේ පළමු කාටුනය පළවුයේ ඔබ්සර්වර් පුවත්පතේය. ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා පිළිබඳව මෙමගින් නිරුපනය කරතිබුණි. සර් ජෝන් කොතලාවල බොම්බේ සිට තම ඇදුම් සඳහා ලන්ඩන් බලා යයි නමින් විජේසොමගේ පිටපතක්ද සමගින් ඔහුගේ නිරුවත ආවරණය වන පරිදි බිග් බෙන් ඉදිරිපිට සිටගෙන සිටින ජෝන් කොතලාවලගේ පොකට් කාටුනය නිර්මාණය කර තිබේ. ඔහුගේ නිර්මාණ වලින් සෑහීමකට පත් සංස්කාරක ටෝනි ද සුසා සතියකට කාටුන් තුනක් ඉදිරිපත් කරන ලෙස දැන්විය. ඔහුගේ පොකට් කාටුන් “ටිකිරි” ලෙස නම් කරන ලදී.

විජේසෝම මහතාගේ කාටුන් මිනිසාගේ සිනහවට සංකල්පයක් දෙන පරිදි ඉදිරිපත්කරන ලදී. වැඩිවශයෙන් දේශපාලන කරුණු පිළිබඳව ඉරිදිරිපත් කරණු ලබයි. දේශපාලය පිළිබඳව මනා අවබෝධයක් විජේසෝම මහතා සතුවූ අතර තම පාඨකයන්ට දේශපාලන කරුණු අවධාරණය කිරීම සඳහා සියුම් උපහාසාත්මක ක්‍රම යොදාගත්තේය. ඔහුගේ නිර්මාණ තුලින් විනය , ජීවිතය , ඉවසීම ඇතිකිරීම සඳහා ආකල්පවල ඇතිකළ වෙනස අතිමහත්ය. සමාජය හා දේශපාලනය පිළිබඳව ගැඹුරු   පිළිබිඹුවක් ඔහුගේ කාටුන් තුලින් ඉදිරිපත් විය.

ඩි.එස්.සේනානායක මහතාගේ සිට ජේ.ආර්.ජයවර්ධන , චන්ද්‍රිකා කුමාරතුංග යනාදී වශයෙන් පශ්චාත් නිදහසින් පසු දේශපාලනයට පිවිසි චරිතයන විජේසෝම මහතා විසින් කාටුනයට නගන ලදී. අඩසියවසක් පුරා ඔහු කාටුන් ශිල්පියෙකු ලෙස කටයුතු කරන ලද අතර ඔහුගේ කාටුන් වල ඇති සියුම් හාස්‍ය පාඨකයාගේ මුවට සිනාවක් ගෙන ඒමට සමත් විය.

පසුව ඉරිදා පුවත්පත්වල පලකිරීමට කාටුන් නිර්මාණය කිරීමට අවස්තාව විජේසෝම මහතාට ලබාදෙන ලදී. ඔහු තම කාටුන් නිර්මාණය කලේ දේශපාලන නායකයන් වටාය. මෙතුමාගේ කාටුන් ඉක්මනින් ජනප්‍රියත්වයට පත්විය. ඒ තුලින් විජේසෝම මහතාට කාටුන් ශිල්පියෙක් ලෙස කටයුතු කිරීමට අවස්තාව ලැබුණි. මුල් කාලයේ කාටුන් වල දක්නට ලැබුනේ උපමාවක් හා ප්‍රවෘත්ති සිරස්තලය මත පදනම්ව කරනු ලැබූ ඉදිරිපත් කිරීම්ය. ටයිම්ස් පුවත්පතේ කතෘ විජේසෝම මහතා දිරිමත් කල අතර ඔහුගේ උපකාරයද ඔහුට ලැබුණි. පසුව දිනපතා පුවත්පත්වල කාටුන් නිර්මාණය කිරීමේ අවස්තාව මෙතුමාට ලැබුණි.

සාක්කුවේ ඩොලර් ලකුණක් සමග ජේ.ආර්.ජයවර්ධන මහතා සහිතව නිර්මාණය කල කාටූනය විජේසෝම මහතා අතින් ඇදුනු ප්‍රබල කාටුනයක් විය. ඒ තුලින් ඔහු නිරුපනය කලේ සංවර්ධනය සඳහා වූ ඇමරිකානු හිතවත්කමයි. එහෙත් මේ සම්බන්දයෙන් විවේචන එල්ල විය. ඉන්පසු පුවත්පතේ නිලධාරින් එකතුවී මෙම ගැටලුව විසඳන ලදී. එතැන් සිට විජේසෝම මහතා නීතියේ සීමාවන් ඇතුලත සිටිමින් කාටුන් ඇදීමට කටයුතු කරන ලදී. පසුව ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනයෙන් ඉවත් වී ලේක්හවුස් ආයතනයේ කාටුන් නිර්මාන ශිල්පියෙකු ලෙස සේවයට බැඳුණි. රජය විසින් ලේක් හවුස් අත්පත් කරගැනීමෙන් පසුව නව කළමනාකරණයක් සඳහා විජේසෝම මහතා විසින් පළමු කාටුනය නිර්මාණය කරන ලදී. එවකට  අමාත්‍යවරයාව සිටි එන්.එම්.පෙරේරා මහතාට එරෙහිව වූ බැවින් එය පල නොකරන ලදී. ඉන් දින කීපයකට පසුව විජේසෝම මහතා කැඳවා තිබුණි. විපක්ෂ මන්ත්‍රී වරයෙකු පිළිබඳව කාටුනයක් නිර්මාණය කරන ලෙස විජේසෝම මහතාගෙන් ඉල්ලා සිටින ලදී. විජේසෝම මහතා එයට එකඟ විය. නමුත් ඔහු පළමුව කියාසිටියේ තමා එන්.එම්.පෙරේරා මහතාගේ කටුනායක්ද ප්‍රකාශයට පත්කරන බවයි.

1981 දී ද අයිලන්ඩ් සහ දිවයින පුවත්පත් වලද කාටුන් ශිල්පියෙක් ලෙස කටයුතු කරන ලදී. වසර 16 කට කාටුන් 9000 ක් පමණ නිර්මාණය කර තිබේ. එහෙත් තවමත් විජේසෝම මහතාගේ අදහස් සිදී ගොස් නැත. ඔහු පවසන පරිදි “මම දිවා ආහාරය ගන්නා තුරු දවසේ පුවත් පිළිබඳව ගැඹුරින් සිතා බලයි. දිවා ආහාරයෙන් පසුවද එසේයි. මේ සඳහා මට කිසිවක් ලැබෙන්නේ නැත. මම මගේ සේවය පිළිබඳව සතුටු වෙමි. නමුත් ඇතැම් කාටුන් බෙහෙවින් අහිතකර වේ. ඔහුගේ කාටුන් චරිතය වුයේ “පුංචි සිංඥෝ” නම් කුඩයක් අතින් ගත් ,උපැස් යුවලක් පැළඳි , ජාතික ඇඳුමින් සැරසුණු මධ්‍යම පාන්තික මහල්ලෙකි. මෙම චරිතය හරහා ඔහු පොදු ජනතාව නියෝජනය කළේය. මුලදී සම්පුර්ණ ජාතික ඇදුමින් සැරසි සිටි පුංචි සිංඥෝ සමාජ ක්‍රමයේ වෙනස් වීම් හා දේශපාලන ක්‍රමයේ පවතී පිඩිත බව නිසා උපන් ආර්ථිකයෙන්  බැට කෑ පුද්ගලයෙක් බවට පත්විය. පසුකාලීනව ඔහු ඉරුණු ඇදුමින් සැරසුණු ශරීරයෙන් වැහැරි ගිය පුද්ගලයෙකු බවට පත්විය. ඔහු අත රැඳී පන් මල්ල ආර්ථිකයේ සංකේතය බවට පත්විය. දේශපාලන කාටුන් ශිල්පියාගේ පරම යුතුකම තම රටේ දියුණුව ඉලක්ක කර සිය කාටුන් නිර්මාණය කිරීමයි. එසේ නොකිරීම රටට කරන අපරාධයක් ලෙස විජේසෝම මහතා පවසා තිබේ. ඔහු එය නිර්මාණය කලේ ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතටයි.
                                    විජේසෝම මහතාට ඉදිරියට යාමට ඩි.බී.ධනපාල මහතාගේ උදව්ද ලැබුණි. පසුව විජේසෝම මහතා ඉරිදා ලංකාදීපයට සේවය කළේය. 1968 දී ලේක්හවුස් ආයතනය වෙත යාමට ඔහුට සිමා පනවා තිබුණි. 1977 දී නැවත එම ආයතනයට සම්බන්ද වීමට අවස්තාව ලැබුණු අතර එයින් වසර හතරකට පසුව අයිලන්ඩ් හා දිවයින පුවත්පත් හිමි උපාලි පුවත්පත් සමාගමට බැඳුණි.

විජේසෝම මහතා කාටුන් ශිල්පියෙක් පමණක් නොවේ. ටයිම්ස් පුවත්පතේ සිටි කාලයේ ක්‍රිකට් හා පාපන්දු ක්‍රීඩා සම්බන්දව කටයුතු කළේය. එමෙන්ම සන්ඩේ අයිලන්ඩ් පුවත්පත සඳහා ගිත හා මංපෙත් නමින් ලිපි කීපයක් රචනා කලේය. මිහිර පුවත්පතේ චිත්‍ර නිර්මාණයටද විජේසෝම මහතාගේ දායකත්වය ලැබුණි.



විජේසෝම මහතා විසින් නිර්මාණය කරන ලද පුංචි සිංඥෝ චරිතය.


විජේසෝම මහතා විෂයානු බද්ධ කාලින දේශපාලන සමාජීය ප්‍රවණතා පිළිබඳව සියුම් දැක්මක් තිබු කෙනෙකි. ඔහු සිය කාටුන් හරහා විටින් විට මතුකළ තේමාවක් වුයේ විධිමත් අධ්‍යාපන ක්‍රමයේ අධික විෂයානුබද්ධ දැනුම හා අසංවේදී ක්‍රියා නිසා පිඩාවට පත්වන දරුවන් ගැනයි. ඔහු එය සංකේතාත්මකව නිරුපනය කලේ සිරුරේ ප්‍රමාණයට වඩා විශාල වූ පොත් කරගසාගෙන ආයාසයෙන් ගමන් කරන පාසල් දරුවෙකුගේ රුපයෙනි.



ලංකාවට රුපවාහිනිය ලැබීමෙන් පසුව එයත් පක්ෂවාහිනියක් වේද යන්න උපහාසාත්මකව දැක්වීම සඳහා විජේසෝම මහතා විසින් මෙම කාටුනය නිර්මාණය කර තිබේ.







මෙම කාටුන්ද නිර්මාණය කර තිබෙන්නේ රුපවාහිනිය දේශපාලනික උවමනාවන් සඳහා යොදාගැනීම නිරුපනය කිරීමටයි. එමෙන්ම ප්‍රේමදාස මහතා චතුර වේදිකා කතිකයෙකු වුවද රුපවාහිනිය තුලින් චතුර ලෙස කතා කිරීමේ හැකියාව නොතිබුණි. මෙය විජේසෝම මහතා සියුම් උපහාසයට ලක් කරන ලදී





 විජේසෝම මහතා සංවර්ධනය , සමාජය මෙන්ම යුද්ධය පිලිබඳවත් උපහාසාත්මකව කාටුන් නිර්මාණය කළහ. දේශපාලනික කාරණා විජේසෝම මහතාගේ උපහාසයට වැඩි වශයෙන් ලක්විය. එමෙන්ම යුද්ධ පිළිබඳව වූ කාරණා සියුම්ව ඉදිරිපත් කිරීමට විජේසෝම මහතා උතසහ ගෙන  තිබේ. 











Friday, August 5, 2016

අලි තොරතුරු


අලි තොරතුරු







අලියා ජාතික සම්පතක් මෙන්ම සංස්කෘතික සම්පතක්. සිංහල ජන ජීවිතය හා රාජ්‍ය පාලනය කෙරෙහි බද්ධ වූ ගාම්භීර සතෙක්. ඒත් අපි අලියා ගැන දන්නේ හරිම ටිකයි නේද. ඒ නිසා අලියා ගැන තොරතුරු ටිකක් ඔයාලට කියන්න ඕනේ කියල හිතුව. කියවල බලන්නකෝ...ඔයාලට ගොඩක් දේවල් අලුතින් දැනගන්න පුළුවන් වෙයි...

අලියාට බොහෝ සමානකම් ඇති සත්ව කොටස් වසර දශලක්ෂ පනහකට පමණ පෙර බිහිවෙලා තියෙනවා. ඔවුන් මොඑරිතීරියම් නමින් හඳුන්වනවා. එහෙත් අලියාට මෙන් දිග හොඩක් ද ඇතාට මෙන් දිග දල යුගලක්ද මෙම සත්වයාට තිබුනේ නෑ. මේ නිසා සත්ව විද්‍යාඥයෝ මොඑරිතීරියම් අලියාගේ ආදිතමයා ලෙස හැඳින්වූවා. වල් අලි යනු ෛජව විවිධත්ව පරිනාමයේ විශේෂිත නිර්මාණයකි. ආහාර සොයා දිනකට කිලෝමීටර් 25 ක් පමණ දුරක් යාමට මෙම සත්වයෝ පෙළඹෙති. ගොඩබිම් වල වාසය කරන විශාලතම සත්ව කාණ්ඩයට අයත් අලියා ක්ෂීරපායි හෙවත් මැමාලියා ගණයට අයත් වෙයි.
වත්මන් අලියා වර්ග දෙකකට බෙදේ. ලොක්සොඩොන්ටා අප්‍රිකානා සහ එලෙෆපාස් මක්සිමුස්ය. එනම් අප්‍රිකානු අලියා හා ආසියානු අලියාය. මේ දෙවර්ගයේම අලින්ට එක් එක් වර්ගයට ආවේනික වූ ශරීර ලක්ෂණ පිහිටා ඇත.
අප්‍රිකානු අලියා උස අඩි 14 ක් පමණ වෙනවා. උස අඩි 9 ත් 11 පමණ වේ. උරහිස් උසින් වැඩිය වැඩිය. පිට පහත්ය. කන්පෙති විශාලය සිරුර දුඹුරු පැහැයට හුරු කළු පැහැයක් ගනී. ගැහැණු පිරිමි දෙපක්ෂයටම දල ඇත. හොඩවැල කෙලවරේ එක් ඇඟිල්ලක් වැනි තුඩු දෙකක් පිහිටා ඇත. අප්‍රිකා මහද්වීපයේ සහරා කාන්තාරයට දකුණින් පිහිටි ප්‍රදේශය වාස භුමි වේ. අප්‍රිකානු කුරු අලි වර්ගයක් කොංගෝ ප්‍රදේශයේ වාසය කරයි. අප්‍රිකානු අලියා ආසියානු අලින්ට වඩා දරුණුය.
ආසියානු අලියා එලිෆාස් මැක්සිමස් නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අතර මේ නම දුන්නේ කාල් ලිනේයස් 1758 දී ලංකාවේ අලියා අධ්‍යනයෙනි. ආසියානු අලි බොහෝ විට අයත් වන්නේ මෙම කුලයටයි. ආසියානු අලියාගේ හොඩවැල කෙලවරේ එක් ඇඟිල්ලක් වැනි තුඩු එකක් ඇත. පිට ඉහලට එසවී ඇත. දල ඇත්තේ පිරිමි සත්වයින්ට පමණි. නමුත් සෑම පිරිමි සතෙකුටම දල පිහිටන්නේ නැත. ඉන්දියාව , බුරුමය , ලංකාව , මලයාව , කාම්බෝජය , සුමාත්‍රාව වැනි රටවල අලින් දක්නට හැකියි. පර්යේෂණ වලට අනුව ශ්‍රී ලංකාවේ වෙසෙන්නේ ආසියානු අලින් අතරින් විශාලතම දේහධාරින්ය. ආසියානුකරයේ අලින් අතරින් වැඩිම ජාන විවිධත්වයක් ඇත්තේද ලංකාවේ අලි ඇතුන්ට යි. මෙම ජාන විවිධත්වය ඕනෑම පාරිසරික තත්වයන්ට ඔරොත්තුදීමට හා හැඩගැසීමට ඇති හැකියාව පිලිබඳ නිර්ණායකයකි. ලංකාවේ අලියා ආසියානු අලි අතරින් වැඩියෙන්ම බුද්ධිමත් අලියා ලෙස හඳුන්වයි. මොලයේ වර්ධනය වීමේ ධාරිතාවය ද වැඩිය. දිනකට කිලෝග්‍රෑම් 150 ක පමණ ආහාර වේලක් අවශ්‍ය වේ. උදේ සිට සවස් වන තුරු ආහාර සොයා සංචාරය කරයි. දිනකට ජලය ලීටර් 80 ත් 160 දක්වා ප්‍රමාණයක් අවශ්‍ය වේ. ශ්‍රවන ශක්තිය තියුණු නමුත් පෙනීම මදක් අඩුය. වයස අවුරුදු 8 ක් 9 පමණ වන විට ගැහැණු සත්වයින් පැටවුන් බිහි කරයි. ගැබ් කාලය මාස18 සිට 22 දක්වා වේ. පැටවූ බිහි කරන්නේ අවුරුදු 3 , 4 හෝ 6 කට වරකි. මෙය ගොඩබිම වසන සත්වයින් අතර ඇති දීර්ඝතම ගැබ් කාලය ලෙස සැලකේ. වරකට එක් පැටියෙක් බිහි කරයි. නමුත් 1941 වසරේ ලංකාවෙන් ගැහැණු පැටවුන් දෙදෙනෙකු උපන් බව වනජීවී තොරතුරු වල දැක්වේ. අලියෙකුගේ සාමාන්‍ය ජිවිත කාලය අවුරුදු 60 හෝ 70 හෝ ඊට වැඩිවේ.

ගැහැණු සතෙකු මව් පදවිය ලැබීම යනු  අලි රංචුවක විශේෂ සිද්ධියකි. රංචුවේ අනිකුත් සාමාජිකයෝ මවු ඇතින්න කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වති. රැලේ සිටින කුමන දරුවෙකුට වුවද කිරි බිමට ඉඩ දීම අලි සිරිතයි. තුම්පත් රැල යනුවෙන් හැඳින්වෙන්නේ අලි අම්මාත් ඇගේ කලින් පැටවා සහ අලුත උපන් පැටවායි. අලි සිටින්නේ රංචු වශයෙනි. අලි රංචුවක මුරණ්ඩු අලියෙක් සිටිනම් රැලෙන් පිටමන් කරයි. මෙසේ පිටමන් කල අලියා තනිවීම නිසා දරුණු තත්වයට පත්වේ.මද කිපීම වැඩුණු අලි ඇතුන්ට කලින් කල ඇතිවන තත්වයකි. කපෝල ග්‍රන්ථි ඉදිමීම මද කිපිමේ ලක්ෂණයයි. මෙම ග්‍රන්තියෙන් පිටවන තෙල් වැනි ද්‍රවයක් කම්මුල් දෙපසින් ගලා යයි. මද කිපුණු විටදී කලබල වීම හා දරුණු වීම දක්නට ලැබෙන ලක්ෂණයකි. මද කිපීම ආරම්භ වීමේදී හිලෑ අලි ඇතුන් වෙන්කර තැබේ. මද කිපිමත් සමග පිරිමි සතා ගැහැණු සතා කෙරෙහි දැඩි ඇල්මක් ඇතිකර ගැනිම ස්වාභාවිකය.
අලියාගේ විශේෂම අංගය වන්නේ හොඩවැලයි. මේ හොඩවැලේ ක්‍රියාකාරිත්වයට මාංශපේශීන් 40,000 ක් පමණ එකිනෙකට සම්බන්ධව පවතී. ඒ නිසා අවශ්‍ය ආකාරයට හැසිරවීමේ හැකියාව ලැබී ඇත. නාසය ලෙසට මෙන්ම අතක් ලෙසටද හොඩවැල අලියාට ප්‍රයෝජනවත්ය. වතුර බිමට සහ ශරීරයට වතුර ඉස ගැනීමට මෙන්ම සතුරෙකුට පහර දීම සඳහා ද ශක්තිමත් ආයුධයක් ලෙස යොදා ගනී. ඒ වගේම ඉතා  සියුම් ද්‍රව්‍යක් සේම මහා පරිමාණයේ ද්‍රව්‍යක් ද ග්‍රහණය කර ගැනීමේ හැකියාව හොඩවැලෙන් ලැබී ඇත.
දළ බවට පත්වන්නේ ඇතාගේ උඩ හනුවේ තිබෙන කෘදන්ත දත් පෙළයි. එම දත් දෙපල ජානවල ක්‍රියාකාරිත්වය නිසා දළ බවට පත්වේ. ලංකාවේ පිරිමි සතුන්ගේ දළ පිහිටන්නේ 5% ත් 8% අතර ප්‍රමානයකටයි. ඇත් දළ වාණිජ වටිනාකමක් සහිතය. මුදු , මාල , අත් පළදනා , විසිතුරු භාණ්ඩ , පුජා භාණ්ඩ නිෂ්පාදන සඳහා යොදා ගැනේ.
ගජමුතු ඇතිවන්නේ ඇතාගේ දළ කෙලවරෙයි. කුහරය සහිත දලය ඇතුලත කෙළවරට යන විට කුඩා වේ. මෙය තුලට දලයෙන් කොටසක් හෝ දතක කෑල්ලක් ඇතුල් විය හැකිය. අවුරුදු ගණනාවක් ගත වෙත්ම මෙම කැබැල්ල ක්‍රමයෙන් මට්ටම් වී රවුම් හැඩයක් ගනී. පසුව ඉතා වටිනා ගජමුතු බවට පත්වන්නේ මේවාය.ජිවිත කාලය පුරාවටම මුඛයේ දත් කුට්ටම් හයක් ඇතිවේ. එක් දත් කුට්ටමක් අවුරුදු 10 පමණ කාලයක් මුඛයේ පවතී. අවසාන දත් කුට්ටම වැටි ගිය පසු ආහාර සපිමට ඇඹරීමට නොහැකිව අලින් මිය යන අවස්ථා ද තිබේ.
විශාල ශරීරයක් තිබුනද අලියාගේ ඇස් දෙක ඉතා කුඩය. අලියාට ඉතා දියුණු පෙනුමක් නැත. නමුත් ඉතා හොඳින් ඉව දැනෙයි. උණුසුමට අකමැති වීමත් , ඇස් පෙනිමේ දුබලතාවය හා හොඳින් ඉව දැනීම යන හේතු නිසා අලියා නිශාචර දිවියකට වැඩි කැමැත්තක් දක්වයි.
අලින්ගේ සම සංවේදී ඉන්ද්‍රියකි. එය සිරුරේ සමහර තැන් වලදී සිනිදු වන අතර සමහර තැන වලදී ඝන වේ. කන්වල සම ඉතා සිනිදුය. සිනිදු හා රළු ලොම් සිරුර පුරා තැනින් තැන විසිරි පවතියි. අලියෙකුගේ වලිගයේ ඇති ලොම් අලියා වැඩෙන විට ක්‍රමයෙන් ඝන වී අවසානයේ ප්ලාස්ටික් කෙන්දක් මෙන් ඝන තත්වයට පත්වේ.අලින්ගේ පාද අනෙක් සතුන්ගේ පාද වලට වඩා වෙනස්ය. අලින්ගේ පාද සකස් වී ඇත්තේ ශරීරයේ බර දරා ගැනීමට හැකිවන ලෙසයි. එමෙන්ම පාද වල අස්ථි ඉතා ශක්තිමත් වේ. පතුල තද හා දැඩි ස්වභාවයක් ගනී. පතුලේ පැලුම් හා රේඛා සටහන් දැකිය හැකිය. මෙය ගල් උඩ නැගීමේදී හා කඳු බෑවුම් මත ලිස්සා යාම වලක්වා ගැනීමට උපකාරී වේ. විලුඹ කොටස කොට්ටයක් මෙන් විශාල වී සැකසී තිබේ. මේ නිසා සිරුරේ බර දරා ගැනිමටත් බොහෝ දුර ඇවිද යාමටත් හැකියාව ලැබී තිබේ.
කන් ඇසීමේ හැකියාව අතින් අලියාට සුවිශේෂී තැනක් හිමිවේ. මේ කන් සැකසී ඇත්තේ අවට ඇති ශබ්ධ 
තරංග හැකිතාක් කන් තුලට යොමුවන ලෙසටයි. මේ නිසා කිලෝමීටර් 3 , 4 පමණ ඈතින් ඇසෙන යම් ශබ්ද පවා ඉතා හොඳින් ඇසීමේ ශක්තිය අලියාට ඇත. එමෙන්ම ශරීර උෂ්ණත්වය පිට කිරීමේදීද කන් වැදගත් කාර්යක් ඉටු කරයි. අලින් නිතරම කන් සෙලවීම හරහා රුධිරයේ ඇති උෂ්ණත්වය කනේ සම හරහා භාහිර පරිසරයට විහිදේ.
අර්ධ ජලජ සත්වයෙක් වන අලියා දිනකට පැය කිහිපක් දියට බැස කාලය ගත කරයි. අලින්ගේ සිරුරේ විශාල මාංශ පේශි ක්‍රියාකාරිත්වය නිසා විශාල උෂ්ණත්වයක් ඇතිවේ. එම ශරීර උෂ්ණත්වය අඩු කර ගැනීම සඳහා දියට බැස සිටීමත් දහවල් කාලයේදී ක්‍රියාශීලි නොවීමත් සිදු කරයි.සම්පුර්ණයෙන්ම ශාක භක්ෂක සතෙක් වන අලියා දිනපතා ආහාරයෙන් 70% පමණ අඩංගු වන්නේ විවිධ තණකොළ වර්ගයි. දිවුල් වැනි පලතුරු වර්ගද පොල් කොළ , කිතුල් , අන්නාසි , කෙසෙල්බොඩ හා කෙසෙල් ගෙඩිද අලින්ට රසවත් ආහාර වේ. වට්ටක්කා , පුහුල් , පැණි කොමඩු , කුරක්කන් , බඩ ඉරිගු වලටද වැඩි කැමැත්තක් දක්වයි.  
අලින් හැසිරවීම සඳහා අලින්ටම වෙන්වූ භාෂාවක් ඇත. එයින් කිහිපයක් මෙසේය.දෙරි තෙත්තන් - අරගෙන පස්සට පලයන්අලියා දෙරි - ගනිංඅලියා හිඳ - නිදා ගනිංමොහො දහ - මේ පැත්තට වරෙන්අලියා පුරු - පෙරලන්නඅලියා දහ ඉඩ - අයින් වෙලා පලයන්අලියා පුරු උදරි - හොඩය උස්සා තල්ලු කරපන්අලියා හරුව - විසි කරපන්අලියා බිලමා - පාගපන්අලියා පිචන් - නිකා හිටහන්අලියා දන - අලියා දනගහපන්අලියා දහ - යමන්අලියා හෝවා - නැවතියන්අලියා බිල බිමල පුරු - කකුල උස්සපන්
අලි කෙඳි වලටද වෙළඳපොල තුල විශාල ඉල්ලුමක් පවතී. කෙඳි සහිත පළඳනා පැළඳීමෙන් ජිවිතයට වාසනාව ලඟා වන බවට ඇති විශ්වාසය මෙයට හේතුවයි. මෙදු හා අත් පළඳනා වලට අලි කෙඳි භාවිතා කරයි.
වර්තමානයේ අලි මිනිස් ගැටුම හේතුවෙන් අලියා වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටියි. අද වන විට මිනිස් ක්‍රියාකාරකම් නිසා වසරකට අලි ඇතුන් 75 ත් 80 ත් අතර ප්‍රමාණයක් මිය යයි. වර්ෂ 1800 දී 25000 කට වඩා වැඩි ගණනක් සිටි අලි 1900 වන විට 12000 පමණ විය. 2000 වන විට 3500 පමණ දක්වා අඩු වී ඇත.
ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුල අලියා වන්දනාවට පාත්‍ර විය යුතු සත්වයෙක් බවට පත් කර ගත්තේද මිනිසාය. එම අලියා විනාශ කර දැමීමට මැදිහත් වන්නේද මිනිසාය. මෙම සම්පත රැක ගැනීම සඳහා තම දායකත්වය දැක්වීමට කාලය එළඹ ඇත.

අන්තර්ජාලය ඇසුරින්