Tuesday, August 16, 2016

මස් කන උන්ට වඩා කටු කන උන්ගේ සැර වැඩිය...


වාට්ටුව 





කුරුණෑගල ඉස්පිරිතාලේ එක්තරා වාට්ටුවකි..මමද දිනක් එහි ගත කලේ නෑදෑයෙකුගේ උදව් ලෙසයි. වාට්ටුවේ දොස්තර කඩවසම් තරුණයෙකි. නමුත් කුකුල් කේන්ති කාරයෙකි. ඉස්පිරිතාලයට ඇතුලත් කරගන්නා අසාධ්‍ය නොවන රෝගීන් ඇතුලත් කරගන්නේ මේ වාට්ටුවටයි. රාත්‍රී කාලයේ වාට්ටුව තුල ඇත්තේ කලබල කාරී ගතියකි. දොස්තර , හෙදියෝ සහ සේවිකාවෝ වැඩහි යෙදෙයි.

මේ අය අතරින් සැර වැඩිම සේවිකාවන්ගේය. ඔවුන් දන්නා දෙයක්ද නැත. නොදන්නා දෙයක්ද නැත. වස බී , කනේරු කා පැමිණෙන අයගේ විස්තර අසා වාට්ටුව පුරා වාර්තාව සපයන්නේ ඔවුන්ය.  හරියටම ගමේ සංගමය නියෝජනය කරයි. ඒ විතරක් නම් කමක් නැත. එසේ පැමිණෙන ලෙඩ්ඩුන්ට බැන වදින්නේද මේ සේවිකාවන්ය. කෙනෙක් වස බොන්නේ කුමක් හෝ හේතුවක්ය නිසාය. එයට හේතුව අසා සේවිකාවන්ට එය විනිශ්චය කිරීම අවශ්‍ය නොවේ. එය පෞද්ගලික කාරනාවකි. ඔවුන්ගේ යුතුකම වන්නේ එම රෝගියාව සනීප කිරීමට සහය දීමයි. වාට්ටුවේ දොස්තරට හා හෙදියන්ට වඩා ඉහලින් ඉන්නේ සේවිකාවන්ය. තමන් කවුරුන්ද යන්න හා තම වගකීම කුමක්ද යන්න මේ අය හරියට දන්නේ නැත. එය ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම නිසා විය යුතුය. මේ අය සමග බැලූ විට හෙදියන් තරමක් හොඳය. පොදුවේ ගත්කල සියලු දෙනාගේම මාර ගෑස්ය.

ඉස්පිරිතාලයට කෙනෙක් එන්නේ ලෙඩවෙලා බෙහෙත් ගැනීමටයි. එයින් ඉස්පිරිතාලයේ නතර වන්නේ අමාරු ලෙඩ්ඩුය. ඕනෑම ගණන්කාරයෙක් ලෙඩ වූ පසු අසරණ වන්නේය. එම ලෙඩ්ඩුන්ට බැන වැදීම හොඳ දොස්තර මහතෙකුගේ ලක්ෂණයක් නොවේ. වෛද්‍යවරයා ලෙඩ්ඩුන්ට කාරුණික විය යුතුමය. අසරන වී රෝහලට පැමිණෙන අයෙකුගේ මානසික මට්ටම ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. වෙදකමට වඩා හෙදකම වටිනා බව කියන්නේ කට කහනවාට ද නොවේ. ලෙඩෙකුට බෙහෙත් වලට වඩා ආදරය කරුණාව ලැබීම ම රෝගය සුවවීමට හේතුවකි. ඇතැම් දොස්තරමහතුන් ලගට ගොස් කතාකර ආවත් ලෙඩ හොඳ වෙන බව පවසන්නේ එහෙයිනි. නමුත් මේ වාට්ටුවේ දොස්තර හමුවූ විට නැති ලෙඩත් ඇතිවේ. 

වාට්ටුවේ මා දුටු උදාහරණයක් මෙසේ වේ. වාට්ටුවට කාන්තාවක් පැමිණියේ බඩේ අමාරුවක් කියාය. ඇය දෙස බැලු බැල්මටම ගමක ජිවත් වන දුප්පත් අසරණ කාන්තාවක් බව පෙනේ. ලග නතර වන්නට කෙනෙක් සිටියේද නැත. හෙදිය ආවේය.

කවුද ඔයාගේ ළඟ ඉන්නේ?
කවුරුවත් නෑ මිස්
නෑ කියල බෑ. කවුරු හරි එක්ක එන්න.
එක්ක එන්න කෙනෙක් නෑ මිස්

ඒ ගෑනු කෙනාට එක්ක එන්න කෙනෙක් සිටියානම් හෙදිය කියන තුරු සිටින්නේ නැත. නමුත් ඇත්තටම කෙනෙක් නොසිටියා විය හැකිය. සල්ලි දී කෙනෙක් ගෙන්වා ගැනීමේ හැකියාවක් නැතිවා වෙන්නට හැකිය. එම නිසා හෙදියන් එසේ පැවසීම සුදුසු නැති බව මගේ හැඟීමයි. එවැනි අසරණ මිනිසුන්ට උදව් කිරීමට හෙදියන්ට හා සේවිකාවන්ට හැකිවිය යුතුය. ඔවුන් රැකියාව ලබා ගත්දී ප්‍රතිඥා ලබා දෙන්නේ ඒ වෙනුවෙනි. නමුත් ප්‍රයෝගිකව බැලීමේදී ඒ ප්‍රතිඥාව බල්ලාට වත් දැමිය හැකි නොවේ. පසුව හෙදිය පැමිණ උණ කටුවක් ඇගේ අඟ මත තබා ගියේ කිසිත් නොකියාය. එම කාන්තාව උණ කටුවට කිසිත් නොකර එසේම තබාගෙන සිටියේ එය කොහේ තියාගන්නවාදැයි නොදැනයි. මා එය නිශ්චය කර ගත්තේ හෙදිය පැමිණ එය තබා ගෙන නැති බව පවසා අත උස්සන්න යැයි කි විට ඇය අතේ පහල කොටස පමණක් එසවූ නිසාය. නැවත හෙදිය අත උස්සා උණ කටුව තැබුවේය. උණ කටු තබා නැති කෙනෙකු ඒ පිළිබඳව දන්නේ නැත. හෙදිය තම රාජකාරිය නිසිලෙස ඉටු කිරීමට දැන ගත යුතුය. ඔවුන්ට රජයෙන් වැටුපක් ගෙවන්නේ ලෙඩ්ඩුන්ට බැන බැන ඇවිදීමට නොවේ. 

පැවසිය යුතු තවත් දෙයක් ඇත රජයේ රෝහලට පැමිණෙන්නේ පිනට බෙහෙත් ගන්නට කියා රෝහලේ අය සිතයි. නමුත් ඔවුන් වැටුප් ලෙස ලබාගන්නේත් තව මදියි කියමින් උද්ගෝෂණය කර වැඩි කර ගන්නේත් මේ රටේ ජනතාවගේම සල්ලිය. දුප්පත් මිනිහාගේ රුපියල දෙකද ඔවුන්ගේ වැටුපට එකතු වෙයි. එහෙත් බෙහෙත් ටිකක් ගන්නට ගිය විට ඔවුන් හම්බකරගත් දේවල් ඉල්ලන්න ගියා සේ සලකන්නේ ඇයි දැයි නොදනී. හරියට ඔවුන් හැසිරෙන්නේ ලෙඩ්ඩු පැමිණෙනවාට අකමැති සේය.

ඉහත කි කාන්තාව බැලීමට තරුණ දොස්තර මහතා පැමිණියේය. ඇයගෙන් සායන සටහන් පොත ඉල්ලු විට එය රැගෙන විත් නොමැති නිසා ඇයට බැන වැදුණේ ය. ගෙදර නොයිද රෝහලට පැමිණියේ කුමක් නිසාද යැයි ඇසුවේය. කාන්තාව අසරණ වී හවස පොත ගෙනත්දෙන්නම් යැයි පැවසුවේය. පොත ගේනකම් බෙහෙත් නොදෙන  බවද පැවසුවේය. දොස්තර මහතා ගේ පැත්තෙන් ඔහු නිවැරදි වේ. නමුත් දොස්තරට තේරෙන දේ කාන්තාවට නොතේරේ. එවිට ඔහුගේ වගකීම වන්නේ එය සෙමින් පැහැදිලි කර දීමයි. ඇතැම් විට ඔවුන් කුමක් කියන්නේද යන්න පවා ලෙඩ්ඩුන්ට නොතේරේ. වෛද්‍ය විද්‍යාව ගැන රෝගියාට දැනුමක් නැත. ඔවුන් ලෙඩක් හැදුනු විට ඇවිත් රෝහලේ නතර වෙයි. රෝහල් කාර්ය මණ්ඩලයේ වගකීම වන්නේ ඔවුන්ට සියලු දේ පැහැදිලි කර දීමයි.  

වෛද්‍ය වරයෙකු කාරුණික වීම අත්‍යාවශ්‍ය වේ. එමෙන්ම රෝගියාව හොඳින් තේරුම් ගැනීමේ හැකියාවද තිබිය යුතුවේ. මේ වාට්ටුවේ දොස්තර මහතා රෝගීන් සමච්චලයට ලක් කරයි. ඒකටම ගැලපෙන නර්ස් නෝනලා ටික හා සේවිකාවන් දොස්තරගේ වචනවලට හිනාවෙයි. එවිට දැනෙන අපහසුතාවය ගැන දොස්තරලා වුවත් ඔවුන්ට නොතේරෙන එක කනගාටුවට හේතුවකි. 

මා නතර වී සිටියේ අතක් හා කකුලක් තරමක් දුරට වලංගු නැති වයසක කාන්තාවක් ලඟයි. ඇයට අමාරුවෙන් අල්ලාගෙන ඇවිදීමේ හැකියාව ඇත. දොස්තරට අනුව ඇයට ලෙඩක් නැත. අමාරුවෙන් ඇවිදින විට මේ ඇවිදින්නේ හොදට යයි පවසයි. ඇයට ඇත්තේ අංශභාග රෝග ලක්ෂණද නොවේලු. එසේනම් දොස්තරගේ ඊළඟ වගකීම වන්නේ මෙසේ වීමට හේතුව කුමක්ද යන්න සොයා බැලීමයි. නමුත් ඔහු දවස් දෙකක්ම කලේ කොලේ කුරුටු ගා කුමන හෝ පෙති භාගයක් ලබා දීමයි. ඇයව පරීක්ෂණයකට ලක් කලේ දින තුනකට පසුවයි. පෞද්ගලික රෝහලකට ගියා නම් හැම පරීක්ෂණයක් කරන්නට කියයි. රෝගය සොයා ගැනීමට බොහෝ මහන්සි වෙයි. නමුත් රෝහලට ගිය විට ඉන්නෙත් ඒ වෛද්‍ය වරුමයි. ප්‍රතිකාර පස්සට යයි. ඔවුන් සේවය කරන්නේ පිනට නොවේ. වැටුපක් ඒ සඳහා ඔවුන්ට ලැබේ. ඒ වැටුපට සරිලන ලෙස සේවය කිරීම කාගේත් යුතුකමකි. කනගාටුවට කරුණනම් ඔවුන්ට එය අමතක වීමයි.

රෝහලක් තුල මහජන සම්බන්ධතාව තිබිය යුතුමය. රෝගියාට රෝහල  ප්‍රියමනාප තැනක් කල යුතුය. විශේෂයෙන්ම  හෙදියන්ට හා සේවිකාවන්ට රෝගීන් සමග ගනුදෙනු කරන ආකාරය කියා දීය යුතුය. ඔවුන්ට ඉවසීම පුරුදු කල යුතුය. වැඩ වැඩි බව ඇත්තය. නමුත් එය නිදහසට කාරනාවක් නොවේ.

මේ එක් වාට්ටුවක් තුල පමණි. පොදුවේ ගත් කල හැම වාට්ටුවකම මෙසේය. නමුත්  ඉඳ හිට හොඳ වෛද්‍යවරු , හෙදියන්  හා සේවිකාවන් ද හමුවේ. දෙවිවරු වගේ වෛද්‍යවරුද සිටියි. ඒ සියයට එකක් පමණය. ඉතිරිය බාග දෙවියන් හා දෙවියන් නොවන අයයි.  නමුත් සාමාන්‍ය ජනතාව දොස්තර මහත්තයාට හෝ නෝනට බොහෝ සේ ගරු කරයි. සමාජය තුල පිළිගැනීමට ලක් කරයි. ඔවුන් එකම රැකියාව තුලින් හිස උදුම්මවා ගන්නේ නම් එය සැබෑවටම කනගාටුවට කරුණක් වේ. මා මෙයින් වෛද්‍යවරුන්ට හා රෝහල් කාර්ය මණ්ඩලයට බැන්නා නොව. අපි කවුරුත් දන්නා සැබෑ තත්වය  පිළිබඳව ඉදිරිපත් කළා පමණි. රජයේ රෝහලකට ගිය සියලු දෙනා මේ පිළිබඳව හොඳින් දනී. රෝහල මෙසේ විය යුතු නැත. අප සියලුදෙනාම අපගේ වගකීම් යුතුකම් දන්නේ නම් ප්‍රශ්නයක් වන්නේ නැත. එමෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය කාරුණික වන්නේනම් ඊටත් වඩා හොඳය. විශේෂයෙන්ම සේවිකාවන්ට රෝගීන්ට කාරුණික වීමට උපදෙස් ලබා දෙන්නේ නම් ඉතා හොඳය. මෙය ප්‍රායෝගිකව සිදුකල නොහැකි බව මා දනී. එය තමා විසින්ම ඇති කරගත යුතු දෙයකි. සිදුවිය යුත්තේ රෝගියාට උදව් කිරීමයි. නමුත් කොහේ ගියත් සිදුවන්නේ මස් කන උන්ට වඩා කටු කන උන්ගේ  සැර වැඩි වීමයි.






1 comment: