Tuesday, August 9, 2016

පුංචි කතාවක්

පසුතැවීම.
                

වේලාසනින් අවදි වු විපුල මුළුතැන්ගෙය දෙසට පැමිණියද තමාලි ඒ පිළිබඳව එතරම් තැකීමක් නොකළේය.තමලිට ඇසෙන පරිදි කට සෝදා දැමු විපුල කුස්සියේ තිබු පුටුවෙන් වාඩි වී නිහඬවම සිටියේය.වෙනදා නම් තමා නැගිටවිත් තමාලි තුරුළු කරගත්තද දැන් එලෙස කිරීමට විපුලට සිතෙන්නේ නැත.තමාලි නිහඬවම තේ හදයි.පෙරදා රැයේ ඇය හොඳටම හැඩු නිසා මුහුණද තඩිස්සි වී ඇත.මීට කලකට ඉහතදී නම් ඇය ඉතා කඩිසර රූමත් කාන්තාවක් විය.නමුත් දැන් ඇය වෙනස් වී ඇත.ඇයට ඇත්තේ මලානික පෙනුමකි.තමාලි දෙස බලා සිටින විට විපුලට වරදකාරී හැඟීමක් දැනුනද හෂිනි සිහිවී ක්ෂණිකයෙන් එය යටපත් වී ගියේය.
                      
ආ මෙන්න.....තමාලි තේ කෝප්පය විපුල අතට දී නැවත තම කටයුතු වල නිරත වුයේ විපුලට රිදවීමට මෙනි.තවත් එතන රැඳීමට අපහසු වු විපුල සෙමෙන් සාලයට පැමිණ තේ බොන්නට විය.
                     
තමා පුතු හා තමාලි වෙනදා කොතරම් සතුටින් සිටියේදැයි සිතීම විපුලට මහත් වේදනාවක් ගෙන දෙන්නක් විය.සියල්ල තමාගේ වරදය.තමාලි වේදනාවෙන් හඬන සෑම දිනකම විපුලද සිතින් හඬා වැටුනේය.ඔහු තමාලිට ආදරය නැතිව නොවේ.නමුත් හෂිනිගෙන් ඈත් වීමේ ආත්මශක්තියද විපුල සතු නොවිය.විපුල ගිරයට හසුවූ පුවක් ගෙඩිය මෙන් හෂිනි අතරත් තමාලි අතරත් දෝලනය වෙයි.තේ බොමින්ම විපුල කල්පනාවට වැටි සිටියේය.අතීතය විපුල  ඉදිරියේ මැවි පෙනුනේ රූපරාමුවක් පරිද්දෙනි.
                        
තමාගේ කාර්යාල සහයිකාව ලෙස පැමිණි හෂිනි දුටු පළමු දිනයේම විපුලගේ සිත් ගත්තේය.ඇය ඕනෑ තරම් වෙලාවක් බලාසිටීමට හැකි තරම් රූමත් බවකින් පිරී ඇතැයි විපුලට සිතුනි.හෂිනිද ඉක්මනින් කාර්යාලයේ අනෙක් අය සමග සුහද විය.විපුලට වෙනදාට වඩා කුමක්දෝ නොතේරෙන වෙනසක් දැනෙන්නට විය.තම කාර්යාල කාමරය පිරී ඇතැයි ඔහුට සිතුනි.විපුල ඇය සමග වැඩි කතාබහකට මුලින්ම නොගිය නමුත් ඇය ගැන විමසිල්ලෙන් පසුවිය.
                        
වෙනදා තමාලි ඇහැරවන තෙක්ම නිදාගන්නා විපුලට දැන් දැන් රාත්‍රිය දිගු වැඩි යයි සිතේ.විපුල වැඩට යන්නේම හෂිනි දැකගැනීමේ බලාපොරොත්තුවෙනි.මෙලෙස දින සති ගෙවී ගියේ විපුලටත් නොදැනීය.
                 
දිනක් වැඩ නිමවී විපුල ගෙදර යන විට හෂිනි බස් නැවතුම්පලේ සිටිනු දැක ඇයට කතාකළේය.
 හෂිනි මොකද මෙතන...තාම බස් එක ආවේ නැද්ද?

නෑ සර්...අද ටිකක් බස් එක පරක්කුයි වගේ...

කොහාටද යන්නේ? විපුල විමසා සිටියේ ඇයව තම කාරයේ නංවාගෙන යාමට හැකිවේවායි පතමිනි.
නාරම්මලට සර්.

ඉතින් ළමයෝ මාත් යන්නේ ඒ පාරෙමනේ.එන්න නගින්න...මං ඔයාව බස්සවාගෙන යන්නම්.

විපුලගේ සතුට ඉහ වහා ගියේය.හෂිනිද කැමැත්තෙන්ම වාහනයට ගොඩවිය.

නාරම්මල ටවුන් එකෙන්ද බහින්නේ හෂිනි.

නෑ සර්....ටවුන් එකට මෙහා..

සර්ගේ ගෙවල් කොහෙද?

මං කළුගමුවේ...

ආ.....එහෙමද.

වෙන කවුද ඔයාගේ පවුලේ ඉන්නේ?

අම්මයි, තාත්තයි, නංගියි.

ඇයගේ කටහඬ ද ගීතවත් යයි විපුලට සිතේ.

සර් ඔය ඉස්සරහ තියන පාර ළගින් නවත්තන්න.

තෑන්ක්ස් සර්... මං යන්නම්....

ඕකේ හෂිනි..බායි...

බායි සර්....
           
විපුල ගෙදර යන විට තමාලි ආදරණියව විපුල පිළිගනු ලැබුවද  හෂිනිගේ සිහියෙන් සිටීම නිසා එය එතරම් වැදගත් නොවුනි.

ඔයාට මහන්සියි නේද විපුල..නාගෙන එන්න..මං තේ එකක් ගේන්නම් රසට.....
           
විපුල ඉක්මනින් නාන කාමරයට වැදුනේ අද දිනය ගැන නැවත නැවතත් සිහි කිරීමට අවශ්‍ය වු බැවිනි.ඔහු වෙනදාට වඩා වැඩි වෙලාවක් නෑවේය.නාගෙන එන විට තමාලි තේ එකක් සාදා තිබුණි.විපුල තේ බිව්වේද හෂිනිගේ රුව මවා ගනිමිනි.
              
කාලය ඉක්මනින් ඉගිලී ගියේ විපුලත් හෂිනිත් පෙම්වතුන් බවට පත් කරමිනි.
         
තමාලිට මේ සම්බන්ධය රහසක් විය.ඇය වෙනදා මෙන් උදෑසන නැගිට විපුලට කෑම පිස දුන්නද බොහෝ වෙලාවට එය වැටුනේ කුණු බක්කියකටයි.ඒ හෂිනි විපුලටත් එක්කම කෑම ගෙනෙන නිසාය.

ඔයාට රසට උයන්න පුළුවන්නේ පැටියො...
              
හෂිනි මොකුත් නොකියා හිනා වුනේ ප්‍රසංශාවට සතුටු වෙමිනි.ජීවිතය හරිම සුන්දරයැයි විපුලට මෙන්ම හෂිනිටද සිතුනි.නමුත් තමාලිට එන්න එන්නම ජීවිතය කටුක වීමට යාමේ කුමක්දෝ පෙරනිමිත්තක් දැනෙමින් තිබුණි.
           
විපුල වෙනදා මෙන් හැසිරෙන්නට උත්සහ කලද ඔහු කෙරෙන් යම් වෙනසක් තමාලි දුටුවේය.ඇය ඒ පිළිබඳව විමසීමට නොගියේ විපුල තමාට ආදරේ බව දන්නා නිසාය.නමුත් කෙමෙන් කෙමෙන් විපුල අතින් තමාලිට ලැබුණු සැලකිලි අඩුවන්නට විය.තමාලි විපුලගේ ආදරය බලාපොරොත්තු වුවද වෙනදා මෙන් ඇය සතුටු කිරීමේ හැකියාවක් ඔහුට නොතිබිණි.තමාලි සිතින් දුක්වන බව දැනුනත් විපුලට කළහැකි යමක් නොපෙනුණි.දිනක් තමාලි මේ පිළිබඳව ප්‍රශ්න කල අයුරු විපුලට මතක් විය.

විපුල.... ඇයි ඔය දැන් ඉස්සර වගේ නැත්තේ.ඔය වෙනස් වෙලා වගේ මට දැනෙනවා...

ඔයාට පිස්සු තමාලි..එහෙම දෙයක් නෑ.විකාර කියවන්නේ නැතුව නිදාගන්න..මට නිදිමතයි.
   
නිහඬවම අනෙක් පසට හැරුණු තමාලි හඬන බව විපුලට දැනුනි.සිතට මහා වේදනාවක් ආවද විපුල කිසිත් නොකියා සිටියේය.ඒ වෙනුවට ඔහු සිතින් දහස්වරක් තමාලිගෙන් සමාව අයැදිය.
     
එක් සිකුරාදා දිනක විපුල හා හෂිනි කාර්යාලයේ නිවාඩු දැමුවේ නිදහස් සුව විඳීමේ අරමුණෙනි.වෙනදා මෙන් කාර්යාලයට යාමට සුදානම් වුවද විපුල ගියේ කුරුණෑගලටයි.හෂිනි කුරුණෑගල බස් නැවතුම් පොළ අසල සිටින බව පෙරදා ඔහුට දැනුම් දී තිබුණි.විපුල යන විටත් හෂිනි පැමිණ මග බලමින් උන්නේය.
                 
හෂිනි ඉක්මනින් කාරයට නැග ගත්තේ කවුරුන් හෝ දකිතියි යන බිය නිසාය.

හෂිනි මේ බත් එක අර හිගන මනුස්සයට දෙන්න...තමාලි ඔතාදුන් බත් පාර්සලය හෂිනිට දිගු කළේය.

සිනා මුසු මුහුණින් පාර්සලය ගත් හෂිනි එය හිගන්නාට දුන්නේය.

අපි කොහෙද යන්නේ?

මං හිතුවේ නුවර යන්න...ඔය කැමතිද?

හ්ම්ම්...කැමතියි.

*********************************************
             
තමාලි වෙනදා මෙන් පුතාව රැගෙන යාම සඳහා පාසලට පැමිණියේය.අධික රස්නය තමාලිට හිස කැක්කුම් ගෙනෙන්නක් විය.පුතා රැගත් තමාලි ඉක්මනින් පැමිණියේ නිවාස වෙත යන බසය අල්ලා ගැනීම සඳහාය.
              
තමා විපුලට ඔතා දුන් බත් පාර්සලය වැනිම බත් පාර්සලයක් මාර්ගය අසල සිටින හිගන මිනිසා කමින් සිටිනු තමාලි දුටුවේ අහම්බයෙනි.ඇය එය ගණන් නොගෙන ඉදිරියට ගියද යලි තමා එතු බත් මුලමදැයි බැලීමට සිත්වී හිගන්නාට මුදල් ලබා දෙන ආකාරයට ගොස් බත් මුල දෙස හොදින් බැලිය.
                    
තමාලිට තම කකුල් පන නැති වේගන එනවා මෙන් දැනුණි.එය තමා විපුලට ඔතා දුන් බත් පාර්සලයම විය.තමා ඉවූ මාළුපිණි, එතු පත්තර පිටුවද එයම විට.කෑ ගසා හඩන්නට සිතුනද තමාලි ඉවසා සිටියේ කරන්නට දෙයක් නොවූ බැවිනි.
           
ගෙදර ගිය වහාම විපුලගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත්තද එය ක්‍රියා විරහිත කර තිබුණි.විපුලගේ කාර්යාලයට ඇමතුමක් ගත් තමාලිට දැනගත හැකි වුයේ ඔහු නිවාඩු දමා ඇති බවයි.තමාලිට හෙන ගෙඩියක් හිසමත පාත්වුවාක් මෙන් දැනුණි.පුතා නිම්සරට මේ කිසිවක් තේරුම් ගත නොහැකිව බලා සිටියේය.

අම්මේ.....ඇයි අම්ම අඩන්නේ?

අම්මගේ ඔලුව රිදෙනවා පුතේ...මගේ පුතා ගිහින් ඉස්කෝලෙ වැඩ කරන්නකෝ.අම්ම ටිකක් නිදාගෙන එන්නම්.... පැවසු තමාලි ඇදට වැටි ඇති තරම් හැඬුවේය.
           
විපුල වෙනසක් නැතිව වෙනදා මෙන් නිවසට පැමිණියද තමාලි පෙනෙන්නට නොවිය.තමාලි සොයා කුස්සියට යන විට ඇය උයන්නට සුදානම් වෙමින් සිටියේය.ඇයගේ කුමක්දෝ වෙනසක් තිබෙන බව දැනුනද විපුල ඇය එතරම තැකුවේ නැත.

තමාලි මට තේ එකක් හදල දෙන්න.

අද කොහෙද ගියේ? තමාලිගේ පැනයෙන් විපුල අන්දමන්ද විය.නමුත් ඒ බවක් නොපෙන්වූ ඔහු වැඩට යැයි පැවසිය.

ඇත්තද.....කවද ඉදන්ද ඔයාගේ ඔෆිස් එක කුරුණෑගලට ගෙනිච්චේ? තමාලිගේ කතාවෙන් විපුලට කටඋත්තර නැතිවිය.තමාලි සියල්ල දැනගෙනද? එහෙම වෙන්න බෑ...විපුල සිතුවේය.

ඔෆිස් එකනම් කුරුණෑගලට ගෙනිහින් නෑ.ඔෆිස් එකේ වැඩකට අද මට කුරුණෑගලට යන්න උනා.

ඒක නිසා වෙන්න ඇති බත් එක හිගන්නට දුන්නෙ.ඇයි  ඔයා මට බොරු කියන්නේ? වැඩට යනවා කියල කවුරු එක්කද ඇවිදින්න ගියේ? මං තමුසෙගෙ ඔෆිස් එකටත් කෝල් කළා.නිවාඩු දැම්මේ කොහේ යන්නද?
          
තමාලිගේ ප්‍රශ්න වැලට විපුලට උත්තර නැතුව ගියේය.ඇය සියල්ල දැනගෙන අහවරය....තමාලි හඬමින් බැනවදි....විපුල කිසිත් නොකියා කාමරයට වැදී ඇදේ හාන්සි විය.
                     
එතැන් පටන් තමාලි හැසිරුනේ නපුරු ගැහැනියක ලෙසයි.විපුල හා තමාලි අතර නිතර රණ්ඩු ඇතිවිය.තමාලි සිටියේම හඬාගත් ගමන්මය.විපුලට මෙය පීඩාකාරී වුවද තමා කරන වැරැද්ද නොකළ යුතු බව සිතුනද ඇය දුටුවිට ඒ සිතුවිලි ක්ෂණිකව යටවී යයි.
           
දුරකථනය නාද වන ශබ්දයට විපුල කල්පනා ලොවින් මිදුනේය.

හෙලෝ .....ඇමතුම තමාලිගේ මහ ගෙදරිනි.

තමාලි ඔයාට කෝල් එකක්...යයි පැවසු විපුල රිසිවරය තබා නාන කාමරය දෙසට ගමන් කළේය.
       
විපුල කාර්යාලයට යාම සඳහා සුදානම් වී මේසය දෙස බැලුවද වෙනදා මෙන් බත් මුල දැන් එහි නැත.එහෙත් පුරුද්දට මෙන් ඔහු ඒ දෙස බලයි.පිටත් වීමට සුදානම් වනවිට දොරකඩ අසලට පැමිණි තමාලි විපුලට කතා කළේය.

විපුල ....තාත්තට අසනීප වෙලා.හවස ගෙදර ගිහින් එන්න ඕනේ.කලින් එන්න පුලුවන්ද?

මං එන්න බලන්නම්...කියූ විපුල කාරය පන ගැන්වූයේය.

තමාලිගේ මහ ගෙදර යාමට විපුලට කිසිදු කැමැත්තක් නොවිය.ඔහුට වරදකාරී ගතියෙන් මිදීමට නොහැකිවීම නිසා ඔවුන්ට මුහුණ දීමට අපහසුවක් දැනුණි.තමාලිට බොරුවක් කීමට ඔහු සිතාගත්තේය.

විපුල කාර්යාලයට ගොස් තමාලිට දුරකථන ඇමතුමක් ගත්තේය.

තමාලි...මට හදිස්සියේ මීටින් එකක් වැටිලා.එන්න පුළුවන් වෙයි සමහරවිට...මං පරක්කු වුනොත් ඔයා ගිහින් එන්න.

විපුල පැවසු දේ පමණක් අසා සිටි තමාලි රිසිවරය තැබුවේය.
        
අද ටිකක් ප්‍රමාද වී යන බව සිතාගත් විපුල හෂිනිට කතාකළේය.

හෂිනි...අපි අද හවස යනකොට දශාන් එකෙන් මොනා හරි බිල යමුද?

හෂිනිගේ මුහුණ වෙනදා මෙන් ප්‍රබෝධමත් නැති බව විපුල දුටුවේ එවිටයි.

ඇයි ළමයෝ ඔයා දුකින් වගේ...?

මොකුත් නෑ සර්..අපි යමු.මට සර්ට කියන්න දෙයක් තියනවා....

මොකද්ද?

දැන් බෑ...හවස කියන්නම්.

හෂිනි ලගට ගිය විපුල ඇයගේ අතින් ඇද තුරුලට ගත්තේය.

හවස් වෙනකම් ඉන්න බෑ...දැන් කියන්න.

දැන් බෑ සර්...මං හවස කියන්නම්....කියූ හෂිනි විපුලගෙන් මිදී තම අසුන වෙත ගියේය.
       
විපුලට හෂිනිගේ මෙම වෙනස් වීම මහත් ප්‍රෙහේලිකාවක් විය.නිවසේ තත්වය එන්න එන්නම නීරස වුවද හෂිනි සිටි බැවින් විපුල ඒ ගැන එතරම් තැකීමක් නොකළේය.හෂිනිගේ හැසිරීම නිසා තමා තනිවේදෝ යන බියක් එකවරම විපුලට ඇතිවිය.
      
සවස විපුලත් හෂිනිත් අවන්හල වෙත යාමට පිටත්විය.තමාලි ඇමතුම් ගනී යයි සිතුනු බැවින් ජංගම දුරකතනයද ඕෆ් කර දැමිය.හෂිනි කතාවට අල්ලා ගැනීම හැදුවද ඇය අසන දෙයකට කෙටි පිළිතුරක් දී නිහඬ විය.රිදවාගත් සිතින් යුතුව විපුල නිහඬවම අවන්හල වෙත රිය පැදවිය.

මොකද්ද ඔයාට කියන්න තියෙනවා කිව්වේ?දැන් කියන්න බලන්න....විපුල පැවසු විට හෂිනි එක්වරම හඩන්නට පටන් ගත් බැවින් මහත් අසීරුවට පත්විය.

හෂිනි ...ඇයි ළමයෝ අඩන්නේ...ඇයව තමා දෙසට වත්තන් කරගනිමින් විපුල විමසුවේය.

මට සර්ගෙන් අයින් වෙන්න දැන් කාලේ හරි...යයි ඉකිගසමින් හෂිනි පැවසු දේට විපුලගේ පපුව දෑවේය.
ඇයි එක පාරටම එහෙම කියන්නේ?

මට බඳින්න කෙනෙක් අම්මල හොයල...එයාට අකමැති වෙන්න කිසිම හේතුවක් මට නෑ....එක නිසා මට එයාව බඳින්න වෙනවා....

හෂිනිගේ වදන් වලට විපුලගේ සිත බොහෝ රිදුනේය.නමුත් මේ සත්‍යට කවදා හෝ තමා මුහුණ දිය යුතුය.එහෙත් හෂිනිව කෙසේ අමතක කරන්නේද යන්න පවා විපුලට සිතාගත නොහැකි විය.හෂිනිත් සමග බොහෝ වෙලාවක් ගතකල විපුල නැවත ඇය මුණ නොගැසෙන්නෙමියි සිතා ගත්තේය.
                   
හෂිනිව බස්සවා නාරම්මල නගරය දෙසට එන විට දැඩි මාර්ග තද බදයක් තිබීම විපුලගේ හිස කැක්කුම තවත් වැඩි කරන්නක් විය.තමා හෂිනිට හා තමාලිට කල අසාධාරණය පිළිබඳව පසුතැවෙමින් සිටියේය.
                    
වාහන තදබදයට හේතුවී තිබුනේ රිය අනතුරක් සිදුවීමයි.සෙනග එතන වටවී සිටියේය.රෝගීන් රෝහලට ගෙනයාම සඳහා වාහනයක් නතරකර ගැනීමට වෙහෙසෙමින් සිටියේය.නමුත් එක් වාහනයක්වත් නවත්වනවා පෙනුනේ නැත.විපුලගේ කාරය අසලට පැමිණි පුද්ගලයෙක් රෝහලට යාමට උදව් කරන මෙන් ඉල්ලා සිටියද ගලායන ලේ විල දුටු විපුලගේ හිස කැක්කුම තවත් වැඩිවිය.

මගේ වයිෆ්ට සනීප නෑ.එක නිසා එන්න විදියක් නෑ...පැවසු විපුල ඔවුන්ව මගහැරියේය.

එදින විපුල නිවසට පැමිණෙන විට රාත්‍රී 7 ද පසුවී තිබුණි.ගෙදර සිටියේ පුතා පමණකි.

කෝ පුතේ අම්ම?

තාම ආවේ නෑ...

කියට විතරද අම්ම ගියේ?

පහට විතර.තාත්ත එයි කියල අම්ම ගොඩක් වෙලා බලන් ඉදල ගියේ....

පුතාගේ කතාවට විපුලට සියුම් රිදුමක් ඇතිවිය.නාගෙන ඇඳට වැටුණු විපුලට තමාගේ අනුවණකම් හේතුවෙන් තමාලි දුක් විදින බව සිහිවී ඔහුටම දොස් පවරා ගත්තේය.තමා කල වැරදි වලට සමාව ඉල්ලා නැවත තමාලි සමග පෙර තිබු සතුට නිවසට රැගෙන එනවායි විපුල එවෙලේ සිතාගත්තේය.
       
තමාලි ප්‍රමාද බැවින් ඇයගේ දුරකතනයට ඇමතුමක් ගත්තද එය ක්‍රියා විරහිත කර තිබුණි.තමාලිගේ මහගෙදරට ඇමතුමක් දුන් විපුලට දැනගත හැකිවුයේ ඇය එහි ගොස් නොමැති බවකි.මෙය අසා කලබලයට පත් වුවද විපුලට කල හැකි යමක් නොවිය.
    
නිවසේ දුරකථනය නාද වෙනු ඇසී විපුල වහා ගොස් ඇමතුම ලබාගත්තේ තමාලි යයි සිතමිනි.

හෙලෝ....

විපුල දිසානායකද කතාකරන්නේ?

ඔව්...

නාරම්මල පොලිසියෙන් කතාකරන්නේ.ඔයාගේ වයිෆ් තමාලි අද හවස නාරම්මල ටවුන් එකේදී ඇක්සිඩන්ට් වෙලා...එයාගේ බෑග් එකත් පොලිසියේ තියෙනවා.ඇවිත් කටඋත්තරයක් දෙන්න...

තමාලි කොහෙද ඉන්නේ?

එයා කුරුණෑගල හොස්පිට්ල් එකට ඇතුල් කළා...

උන්හිටි තැන අමතක වු විපුල රෝහල වෙත ගියේ තමාලිට කරදරයක් නොවේවායි පතමිනි.රෝහලෙන් දැනගත හැකි වුයේ තමාලි හදිසි සැත්කමක් සඳහා ගත් බවයි.ඔහු ඇය බැලීමට උත්සාහ කලද එයට අවසර නොලැබුණි.විපුලට ලෝකයම තමා පාමුල කඩා වැටෙනවා වැනි හැඟීමක් දැනුණි.අසල වු බැංකුවක වාඩි වු විපුල හඬාවැටෙන්නට විය.තමා විසින් තමාලිගේ හිත රිදවූ අයුරු මතක් වී තමාටම දොස් නගා ගත්තේය.

තමාලිගේ හස්බන්ඩ් ඔයාද?

හෙද නිලධාරිනියගේ ඇමතුමෙන් වහා නැගී සිටි විපුල වහා ඔව් යයි පැවසිය.

ඔයාට ඩොක්ටර් එන්න කිව්වා...අතන තියෙන රූම් එකට යන්න...යි අත දිගුකර එය පෙන්වා සිටියේය.
විපුල වහා වෛද්‍යවරයා වෙත ගියේය.

තමාලිට කොහොමද ඩොක්ටර්? අනේ එයාව සනීප කරල දෙන්න....විපුල හඬමින් පැවසිය.

සොරි මිස්ටර්....අපි පුළුවන් තරම් උත්සහ කළා...එයාව හොස්පිටල් එකට ගේනකොට ගොඩක් පරක්කු වෙලා.ඒ නිසා ලේ ගොඩක් ගිහින්...ටිකක් කලින් එක්ක ආවනම් බේරගන්න තිබුණා....
     
විපුලට කුමක් කල යුතුදැයි පවා කල්පනාවක් නොවිය.තමා මගහැර ආවේ ලේ විලක් මැද සිට තමාගෙන් ජීවිතය යැද්ද තම බිරිඳම නේදැයි සිහිවී පපුව පැලෙන්නට මෙන් වේදනා දෙන්නට විය.මේ සියල්ලේ වරදකරු තමා යන හැඟීම විපුලට වද දෙන්නට විය.සිය දහස් වාරයක් පසුතැවුනේය.නමුත් දැන් කරන්නට කිසිවක් ඉතිරි වී නොමැත.

තමාලිගේ පාංශුකූලය දෙන විට විපුලට මතක් වුයේ ගාථාවක කොටසකි.

අප්පමාදෝ අමතපදං -පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්ථා නමියන්ති -යේ පමත්ථා යථා මතා.

ප්‍රමාදය සිදුවී හමාරය.එමෙන්ම එය ජීවිත කාලයටම පසුතැවිල්ලක් ද එකතු කර හමාරය.

          

10 comments: